අවනීතිය වෙනුවට නීතියත්, අයුක්තිය වෙනුවට යුක්තියත්, අසාධාරණය වෙනුවට සාධාරණයත් තහවුරු කොට රණවිරුවා කළ කැපකිරීම්වලට නිසි ගෞරවයක් අත්කරදීමට වත්මන් රජයට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරීමට නම් ස්වාධීන ජාතිකයක් ලෙස සියලූදෙනා එක්ව නැගී සිටිය යුතු බවයි. 

ඉකුත් සමයේදී රටේ ඒකීයභාවයට සහ ජාතික ආරක්ෂාවට උද්ගතවූ තර්ජන හමුවේ මව්බිමට ඇළුම් කරන සමස්ථ ජනතාවම කම්පාවට සහ වික්ෂිප්තභාවයට පත්ව සිටියා. ලොව විනයගරුක හමුදාවක් ලෙස කීර්තියට පත් මෙරට සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ අභිමානයට සහ ගෞරවයට හානිකර බොහෝ දේ එම වකවානුවේදී සිදුවූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේවෙතත්, රණවිරුවාගේ ප‍්‍රාර්ථනා මල්ඵල ගැන්වීමට වත්මන් රජයට හැකිවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජාතික රණවිරු සැමරුම් දින පණිවිඩය මගින් අවධාරණය කර තිබෙනවා.