ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරයි.

බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එසේ උපදෙස් ලබා දී තිබේ.

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු බදුමුදල් අයකර ගැනීම කඩිනම් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසුවේ, වසර කිහිපයක සිට ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වී නැති බව ය.

මේ නිසා මත්පැන් මිල වැඩි වීම හේතුවෙන් පමණක් ආදායම අවම වී ඇති බව නිරීක්ෂණය නොවන අතර මෙරට පවතින මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් නිවැරදිව බදු අය කර ගැනීමට කටයුතු කරන ලෙස ය.

එසේ ම, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වීමේ අවශ්‍යතාව ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ ය.

මෙහිදී මෙම ආයතනය වසර 110ක අතීතයක් සහිත ආයතනයක් බව ත් තවමත් මෙම ආයතනය ඩිජිටල්කරණය නොවීම දුර්වලතාවක් බව ත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

මත්පැන් නිෂ්පාදනාගාරවලදී සෑම මත්පැන් බෝතලයකට ම ස්ටිකරයක් අලවන්නේ දැයි පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මෙහිදී කාරක සභාව උපදෙස් ලබා දුන්නේ ය.

මෙහිදී සඳහන් වූයේ, ස්ටිකර් රහිතව මත්පැන් බෝතල් වෙළෙඳපොළට නිකුත් වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බව ය. මේ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.