සමාජ මාධ්‍ය ජාලා හරහා කොරෝනා වෛරසය පිළිබද අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කළ තවත් පුද්ගලයෙකු කුරුණෑගල, උහුමිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.  

සැකකරු දෙහිවල, කළුබෝවිල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක් වූ පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ. ඔහු අද (29) අලූත්කඬේ අංක 1 මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඇදිරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය සහ යුද හමුදාව එක්ව දියත් කළ මෙහෙයුම තවදුරටත් කි‍්‍රයාත්මක වනවා.

අද අළුයම ද මාර්ග බාධක යොදමින් රථ වාහන පරීක්‍ෂා කිරීම්ද දක්නට ලැබුණු බවයි වාර්තාකරුවන් පැවසුවේ. මේ වනවිට ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 5,000 කට අධික පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇදිරි නීතිය පනවා ඇති මෙම කාලසීමාවේදී නිවෙස් තුළම සිටින ලෙසයි පොලීසිය ජනතාවට යළි දැනුම් දෙන්නේ.