නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කොට සතියක් ගත වීමටත් පෙර එම දරුවන් දෙදෙනා මුදලට විකිණූ පිළියන්දල ප්‍රදේශයේ මවක සහ එම දරුවන් දෙදෙනා මිල දී ගෙන තිබූ කාන්තාවන් දෙදෙනෙකු අද (දෙසැ. 7) රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, මෙහිදී එක් කාන්තාවක අදාළ නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙකු රුපියල් 25,000කට මිල දී ගෙන ඇති අතර අනෙක් කාන්තාව දරුවා ලබා ගැනීමට නිවුන් දරුවන්ගේ මවට ගමන් ගාස්තු පමණක් ලබා දී ඇති බව ය.

රාගම ප්‍රදේශයේදී සැකකාර නිවුන් දරුවන්ගේ මව සහ ඇගේ නිවුන් දරුවන් අතරින් එක් දරුවෙකු මිලදී ගත් එක් කාන්තාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දරුවා මිල දී ගත් කාන්තාව කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ, රාගම ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර වෘත්තියේ යෙදෙමින් එහි නවාතැන් ගෙන සිටි මව මීට සතියකට ඉහත බොරැල්ල කාසල් රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී නිවුන් දරු ප්‍රසුතියක් සිදු කර ඇති බව ය.

මෙම නිවුන් දරුවන්ගේ මව ආර්ථික අපහසුතා හේතුවෙන් දරුවන් දෙදෙනා විකුණා ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

දරුවන් දෙදෙනා මුදලට අලෙවි කළ මව පළමු විවාහයෙන් වෙන්ව ඇති අතර ඇයට එම විවාහයෙන් තවත් දරු දෙදෙනෙකු සිටින අතර ඔවුන් ඇගේ මවගේ භාරයේ සිටින බව ද පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබේ.

ඇය විසින් අලෙවි කරන ලද නිවුන් දරුවන් දෙදෙනාගේ පියා පිළිබදව ඇය නිසි තොරතුරක් මෙතෙක් ලබා දී නොමැති බව ද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇති මව සහ පොලිස් භාරයේ පසු වන නිවුන් දරු දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ වන විට රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.