Controversial run-out Jos Buttler Sachithra Senanayake England vs Sri Lanka ODI 2014.

සංචාරය එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය අද පැවැත්වෙනවා.ඒ, පල්ලේකැලේ අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදියි.

පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවීම නිසා මාස කිහිපයක් තරග තහනමකට ලක්ව සිටි සචිත‍්‍ර සේනානායක ද බොහෝ විට මෙම තරගයට එක්වනු ඇතැයි විචාරකයින් පවසනවා.ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවනු ලැබ තිබූ පන්දු යැවීමේ තහනමෙන් නිදහස් වූ සචිත‍්‍ර සේනානායක එංගලන්තය සමග පැවැත්වෙන අවසන් එක්දින තරග දෙක සඳහා යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊයේ පැවති පුහුණු සැසියේදී රංගන හේරත් ආබාධයකට ලක් වූ බවයි. ඒ අනුව හේරත් වෙනුවට ඉදිරි තරග දෙක සඳහා සචිත‍්‍ර සේනානායක නම් කළ බව එම නිවේදනයේ සඳහන්. පන්දුව දමා ගසන බවට සචිත‍්‍රට පළමු වරට චෝදනා එල්ල වූයේද මේ වසරේ එංගලන්තයේදී පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලියේදීයි.

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේ සචිත‍්‍රගේ පන්දු යැවීම මේ වන විට නිවැරදි වී ඇති බවයි. ඒ නිසා ඔහුට පනවා තිබු තරග තහනම ඉවත් කරන බවද අන්තර්ජාතිකක ක‍්‍රිකට් කවුන්සිලය කියා සිටියා.

මේ අතර ශ‍්‍රී ලංකා – එංගලන්ත එක්දින ක‍්‍රිකට් ගැටුමේ මීට පෙර පැවති තරග 04න් 03ක්ම ජය ගත්තේ ශ‍්‍රී ලංකාවයි. එංගලන්තය එක් තරගයක්  පමණක් ජය ගත්තා.

ඒ අනුව තරගාවලියේ ජයග‍්‍රහණ පිලිබඳ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් එංගලන්තය අද තරගය අනිවාර්යෙන් ජය ගතයුතුයි. මෙම තරගය, ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කළ හොත් තරගාවලියේ ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට හිමිවනවා.