කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් ව සිටින සංචාරක කේෂ්ත්‍ර‍යේ නියුතු වූවන්ට සහන සැළසීමේ රජයේ වැඩපිළිවෙළ අද (22) ආරම්භ කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ එම සහන සැළසීමේ වැඩසටහන සඳහා සංචාරක කේෂ්ත්‍රයේ නියතුවූවන්ට අයදුම් කළ හැකි බවය.

එම වැඩපිළිවෙළ මගින් සංචාරක කේෂ්ත්‍රයේ සේවයේ නියුතු පුද්ගලයන් 144,000කට සහන සැළසීමට අපේක්ෂා කෙරේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි මාර්ගෝපදේශකයන් සඳහා රුපියල් 20,000 ක දීමනාවක් හා රියදුරන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් ලබා දීම සඳහා එම අධිකාරිය දැනටමත් අයදුම්පත් කැඳවා ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ අදාළ අයදුම්පත් යොමුකල හැකි අතර මේ වනවිට වෙබ් අඩවියේ එම අයදුම්පත් පළ කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, ගමනාන්ත කළමනාකරණ  සමාගම් සහ සංචාරක නියෝජිත ආයතන සඳහා ඔවුන්ගේ කාර්යය මණ්ඩලවලට මාස 6ක වැටුප් ගෙවීම සඳහා 4% ක පොළීයකට ලංකා බැංකුව මගින් ණය මුදලක් ලබාදීමේ කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එමෙන්ම අධිකාරියේ ලියාපදිංචි ආයතන වල ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබාදීමත් සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලුම වාහන කල්බදු සඳහා ලබාදී ඇති මාස 06ක සහන කාලය වසරක් දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද අදාල අංශ දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.