වෙළෙඳසැල්වලින් මිලදී ගනු ලබන පානීය ජල බෝතල් නැවත නැවත පුරවා භාවිතා කිරීම සුදුසු නොවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම බෝතල් දැඩි හිරු එළියට නිරාවරණය වීම තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීමේ හැකියාවක් ඇති බවය.

පාසල් දරුවන්ට හැකිතාක් නිවසින් පානිය ජලය රැගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස ද වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජී.විජේසූරිය මහතා,

“එක්වරක් භාවිත කර විසික් කිරීමට ඇති බෝතල් නැවත නැවත පුරවා ජලය රැස්කරගෙන භාවිත කරන්න එපා කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ සඳහා නිෂ්පාදනය කරන ලද ප්‍රමිතිය ලබාදුන් විශේෂිත බෝතල් වර්ග භාවිත කළ හැකියි. එහෙම නැත්නම් වීදුරු බෝතලයක් හෝ වෙනත් ඝන බෝතලයක් භාවිත කිරීම ඉතාම සුදුසු වෙනවා. පුළුවන් තරම් එවැනි ජල භාජන හිරු රශ්මියට නිරාවරණය නොවන පරිදි ඒවා ආවරණය කරලා හෝ එසේත් නොමැති නම් හිරු එළිය නොවැටෙන පරිදි එම ජල බෝතල් තබා ගැනීම ඉතාම සුදුසු වෙනවා. ඒ වගේම පාසල්වල ගුරුවරු වැඩි අවධානයක් යොමුකළ යුතුයි ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පාසල් දරුවන්ට ලබාගත හැකි පරිදි කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.”