අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට පොලීසිය විසින් අහසට වෙඩි තබා තිබෙනවා. 

වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී ගම්වාසීන් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක නිරත වෙමින් සිට තිබෙනවා. 

එහි සිටි පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

තුවාල ලැබු එම පොලිස් නිලධාරියා මැදවච්චිය රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර රෝහල වෙත මාරු කිරීමේදී මියගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.