ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව එම පෙරමුණ පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරඟ වැද ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු අද (19) පාර්ලිමේන්තුවේදී කථානායක කරූ ජයසූරිය මහතාට මේ බව ලිඛිතව දැනුම්දී තිබේ.

පක්ෂයේ නායක විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත ගුණසේකර  යන මහත්වරුන් මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වී ඇත.

තම ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම්දීම සඳහා මන්ත්‍රීවරුන් පස්දෙනාගේ අත්සනින් යුතුව කථානායකවරයාට බාරදුන් ලියවිල්ල පහතින් දැක්වෙයි.

ගරු කථානායකතුමා,
ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ‍්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.
ගරු කථානායකතුමනි,
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන්
ඉවත්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීම
 පහත අත්සන් කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 05 දෙනා වන අප පහත සඳහන් හේතු මුල් කර ගනිමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වන බව ඔබතුමා වෙත මෙසේ නිල වශයෙන් දැනුම් දෙමු.
 1. ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් 2017-07-04 දින සිදුකරන ලද විශේෂ ප‍්‍රකාශය මගින් රජයට, රටේ පොදු මහජනතාව සහ මහජන නියෝජිතයන් වෙත දන්වා ඇති පිරිදි නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ ඉදිරිපත් නොකළ යුතු බවට වන උන්වහන්සේලාගේ එකගතාව සහ නිර්දේශය පක්‍ෂයක් ලෙස මහජන නියෝජිතයන් ලෙස අපි සියලූ දෙනා විසින් හිස් මුදුනින් පිළිගන්නා බැවින් ද,
 2. අප රටේ ඓතිහාසික සභ්‍යත්ව රාජ්‍යය තුළ රජුට සහ මහජනයාට ඉහළින් සිට සමාජ සම්මතයන් සහ ප‍්‍රමිතීන් නිර්දේශ කිරීමට සහ රජුට සහ ජනතාවට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමට අදාළ මහා සංඝරත්නය සතු ඓතිහාසික අනුල්ලංඝනීය උරුමය, අප විසින් දෙදණ නමා ගෞරව පූර්වකව පිළිගන්නා බැවින් සහ දිවි නොතකා එම උරුමය සුරැකිය යුතු බැවින් ද,
 3. ගෞරවනීය මහා සංඝරත්නය විසින් හේතු සහිතව දක්වා ඇති පරිදි වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය විවිධ බලවේගවල බලපෑම්වලට යටත් වූ සහ මහජනයාගේ අනුදැනුම සහ සහභාගිත්වය නොමැතිව සිදුවන ක‍්‍රියාවලියක් වන බැවින් එම ක‍්‍රියාවලියේ නීත්‍යනුකූලභාවය සහ සුජාතභාවය බරපතළ ලෙස අභියෝගයට ලක් වී ඇති බැවින් ද,
 4. විවිධ පාර්ශ්ව විසින් ව්‍යාජ ලෙස සමාජගත කිරීමට උත්සාහ කළත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීම, පවත්වාගෙන යාම හෝ එහි නිර්දේශ පිළිගැනීම සඳහා පැහැදිලි මහජන වරමක් රජයට ලැබී නොමැති බැවින් ද,
 5. වර්තමාන ජනාධිපතිවරයා විසින් ජනවරම ලබාගැනීම සඳහා මහජනයා වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ ප‍්‍රකාශනය අනුව එතුමාට බලය ලැබී ඇත්තේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ව්‍යවස්ථා සංශෝධන සඳහා පමණක් බැවින් එතුමාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම හෝ ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු වගන්තියක් සංශෝධනය කිරීම සඳහා දේශපාලන බලයක් හෝ සදාචාර අයිතියක් නොමැති බැවින් ද,
 6. ඒකාබද්ධ විපක්‍ෂයට අයත් මන්ත‍්‍රීවරුන් 95 දෙනාට ව්‍යවස්ථා සංශෝධනයක් සදහා කිසිදු මහජන වරමක් ලැබී නොමැති බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය වන විශේෂ බහුතර බලය පාර්ලිමේන්තුව සතුව නොමැති බැවින් ද,
 7. සමස්ත පාර්ලිමේන්තුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්තනය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාවේ 11 වැනි වගන්තිය ප‍්‍රකාරව මෙහෙයුම් කමිටුව විසින් පත් කළ උප කමිටු 06 තුළ සිදුවූ සාකච්ඡා ක‍්‍රියාවලිය මාධ්‍යයට නිරාවරණය නොකළ බැවින් සහ එම ක‍්‍රියාවලිය තුළ විපක්‍ෂයේ නියෝජිතයන්ට තම අදහස් පළ කිරීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දී නොමැති බැවින් ද,
 8. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීමට අදාළ යෝජනාවේ ප‍්‍රතිපාදන ඉක්මවා යමින් මෙහෙයුම් කමිටුව විසින් අමතර කමිටු 2ක් පත්කිරීම සහ ඒවායේ නිර්දේශ මෙහෙයුම් කමිටු වාර්තාවට ඇතුළු කිරීම මෙන්ම එම වාර්තා සකස් කිරීමේදී දීර්ඝ කාලයක් රට තුළ බෙදුම්වාදී මතවාද ප‍්‍රචලිත කළ මන්ත‍්‍රීවරුන් නොවන බාහිර පිරිස්වල මතවාදී දායකත්වය ලබා ගැනීම ආදී ක‍්‍රියාමාර්ග මගින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ගෞරවය සහ ජනවරම නොසලකා හැර ඇති බැවින් සහ මෙහෙයුම් කමිටුවේදී සාකච්ඡාවට ලක් නොවූ කරුණු වාර්තාවට ඇතුළු කොට ඇති බවට මෙහෙයුම් කමිටුව නියෝජනය කරන විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් ලිඛිතව චෝදනා කොට ඇති බැවින් ද,
 9. පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාව අනුව මෙහෙයුම් කමිටුව විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට වාර්තාවක් සහ ව්‍යවස්ථා කෙටුම්පතක් යන ලියවිලිි දෙකම එකවිට ඉදිරිපත් කළ යුතු වුවත් එම ප‍්‍රතිපාදන උල්ලංඝනය වන සේ කෙටුම්පත රහසිගතව තබා ගනිමින් වාර්තාවක් පමණක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් සැබෑ තත්වය වසන් කිරීමට සහ ඔවුන් නොමග යැවීමට විවිධ පාර්ශ්ව විසින් ගන්නා වූ පහත් උත්සාහය අනුමත කළ නොහැකි බැවින් ද,
 10. මහා සංඝරත්නය විසින් බලපෑමට ලක්වූ ක‍්‍රියාවලියක් ලෙස අවධාරණය කර ඇති පරිදි වර්තමාන ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකාවේ රජය බලපෑමට යටත්කොට සම්මත කරකු ලැබූ 2015-30/01 යෝජනාවේ අඩංගු නිර්දේශයන් ප‍්‍රකාරව ආරම්භකොට ඇති බැවින් සහ ඊට අදාළව ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු ප‍්‍රතිපාදන මොනවාදැයි නිර්දේශ කිරීමට තරම් මානව හිමිකම් කොමසාරිස්වරයා, විවිධ විශේෂ නියෝජිතයන්  ධෛර්යවත් වී ඇති තත්වයක් තුළ සහ වෙනත් දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග නිරන්තරයෙන් එම ක‍්‍රියාවලිය තමාට අවශ්‍ය ආකාරයට හැසිරවීම සඳහා විවිධ ආකාරයට බලපෑම් කරන බැවින් සහ මෙම ක‍්‍රියාවලිය තුළින් රටට සහ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට යහපත් වන ව්‍යවස්ථාවක් බිහි නොවන බව සක්සුදක් සේ පැහැදිලි බැවින් ද,
 අප පක්‍ෂයේ සියලූම නියෝජිත ආයතනවල සහ මහජන නියෝජිතයන්ගේ ඒකමතික තීරණය  අනුව ඉහත සඳහන් කළ පරිදි මෙම ලිපිය ඔබතුමා වෙත බාරදෙන අද දින සිට පහත අත්සන් කරන මන්ත‍්‍රීවරුන් වන අප ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස අපි ඔබතුමා වෙත ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එසේම පාර්ලිමේන්තුවේදී සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සමස්ත මන්ත‍්‍රිවරුන්ගෙන් සමන්විත විය යුතු බැවින් අපගේ ඉවත්වීම මගින් එම කොන්දේසිය බිඳ වැටේ. එම නිසා එම හේතුව සහ අප විසින් ඉහත දක්වන්නට යෙදුනු සෙසු කරුණු 10 මුල් කර ගනිමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වලංගු භාවය අභියෝගයට ලක්වී ඇති බව උත්තරීතර පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස ද අපි ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
මේ වගට,
1. විමල් වීරවංශ
  පාර්ලිමේන්තු මන්ත‍්‍රී
2. වීරකුමාර දිසානායක
   පාර්ලිමේන්තු මන්ත‍්‍රී
3. ජයන්ත සමරවීර
   පාර්ලිමේන්තු මන්ත‍්‍රී
4. උදයශාන්ත ගුණසේකර
   පාර්ලිමේන්තු මන්ත‍්‍රී
5. නිරෝෂන් පේ‍්‍රමරත්න
   පාර්ලිමේන්තු මන්ත‍්‍රී