power cut

අදත් රට පුරා ඇතැම් ප‍්‍රදේශවල වරින් වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය තවමත් අක‍්‍රියව පැවතීම ඊට හේතුවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන මහතා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය සක්‍රීය කිරීමට කාලයක් ගත වෙන බවයි.එම කාලය තුළදී විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මෙවැනි විදුලිය බිඳවැටීම් රට පුරා ප‍්‍රදේශ බොහෝමයක ඊයේ (14) දිනයේ ද වරින්වර විදුලිය බිඳවැටුණා. මේ නිසා තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බවයි මහජනතාව පවසන්නේ.

මේ අතර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලය නැවත අවධාරණය කෙරෙනවා. මෙම දින කිහිපයේදී පමණක් නොව සෑමදාම එය පුරුද්දක් කරගත යුතු බවයි එහි අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන මහතා කියා සිටියේ.

වරින්වර සිදුවන විදුලිය බිඳවැටීම් නිසා ජල සැපයුමට ද බාධා සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

විශේෂයෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජල සැපයුම අදත් ඇතැම් අවස්ථාවලදී සීමා කිරීමට හෝ අඩු පීඩනයක් යටතේ සිදුකිරීමට සිදුවන බවයි එහි සාමාන්‍යාධිකාරී රංජිත් බාලසූරිය මහතා කියා සිටියේ.

පෙරේදා (13) පස්වරුවේ රටපුරා විදුලිය බිඳවැටුණු අවස්ථාවේ සහ ඊයේ (14) දිනයේ ද වරින්වර ඇතැම් ප‍්‍රදේශවල ජල සැපයුම ඇණහිටියා.