වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 44 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් මෙලෙස නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ රාත්‍රී වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 159 ක් වාර්තා විය.

සුවය ලබා රෝහ‍ල්වලින් පිටව ගිය සංඛ්‍යාව 24ක් වෙයි.

ඒ අනුව තවත් රෝගීන් 131 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර නව කොරෝනා වෛරසය අසාධනය වුවන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරනු ලබන වෛද්‍ය පරික්ෂණයන් සංඛ්‍යාත්මකව  ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ මෙතෙක් හඳුනා ගෙන ඇති අසාධිතයන් ගැවැසි ඇති ස්ථාන හා ඔවුන් ඇසුරුකළ පුද්ගලයින් කඩිනම් වෛද්‍ය පරික්ෂණයන් සඳහා යොමු කිරිමට කටයුතු කරන බවයි.