ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතර ඡන්දයෙන් තේරී පත් විය.

ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අද (ජූලි 20) පැවති ඡන්ද විමසීමේදී ඔහු ඡන්ද 134ක් ලබා මෙලෙස මෙරටට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ඒ අනුව, ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ජනාධිපති ධූර කාලයේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඡන්දයකින් තෝරාගැනුණු පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ද ඔහු ඉතිහාසගත වනු ඇත.

ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුමට ඡන්ද 82ක් ලැබුණු අතර අනුර කුමාර දිසානායක ලබා ගත්තේ ඡන්ද 3ක් පමණි.

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබඳව මීට පෙර ඇත්තේ, එක් අත්දැකීමක් වන අතර එනම් 1993 වසරේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩී.බී. විජේතුංග ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා තේරී පත් වීම ය.

එය ඡන්ද විමසීමක් නොමැතිව සිදු වූ නමුත් මෙවර අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වූ බැවින් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව විය.

ඒ අනුව, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන පිරිස මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා වෙනුවෙන් තරග කළහ.