හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කරනු ලැබුවා.

මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිෂන් සභාව විසින් රාජිත සේනාරත්නට එරෙහිව දූෂණය නැමැති වරද කර ඇති බවට වන නඩුවක් සම්බන්ධයෙනි.
 
රාජිත සේනාරත්න, 2014 වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවස්ථාවේ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූකේ නැමැති සමාගමට අඩු මුදලකට බදු දීමේදී දූෂණය නැමැති වරද කර ඇති බවට අල්ලස් කොමිෂන් සභාව චෝදනා කරයි.  ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න , ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂක නීල් රවින්ද්‍ර මුනසිංහ මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන ලදී.