සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැනවැදීමේ සිද්ධියට විරෝධය පළකරමින් හෙට(30) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් වර්ජනයක නිරත වීමට තීරණයකර තිබේ.

පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ බොරළු කැපීමේ ස්ථානය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එය නිරීක්ෂණයට ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරිය අතර දුරකථනයෙන් බහින්බස්වීමක් සිදුවුණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

මේ අතර අදාළ සිද්ධිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සදහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියි සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගැනීමට සූදානම් බවත්, එය කොන්දේසි කිහිපයක් මත සිදු කරන බවයි.

එනම් ප්‍රදේශයේ බලපත්‍ර උල්ලංඝනය කරමින් සිදු කර ඇති පස් කැපීම්, වැලි ගොඩ දැමීම්, බොරළු කැපීම් හා කළු ගල් කැඩීම් නතර කරන ලෙස ඉල්ලමිනි.

දැනටමත් එකී ක්‍රියාවන් නැවතී ඇති බවත්, ඒ අනුව තමන් ජයග්‍රහණය කළ බව පෙන්වා‍ දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විල්පත්තු වන සංහාරයට රිෂාද් බදියුදීන් අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු බවයි.