ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව බොරැල්ල කැම්බල් පිටියේ දී අද (03) සාර්ථකව පැවැත්වුණා.

ඒ, පක්ෂ සභාපති හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සමුළුව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න ඇතුළු මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා.

දිවයිනේ නන් දෙසින් පැමිණි නිදහස් පක්ෂ සාමාජිකයින් කැම්බල් පිටියට පැමිණියේ පෙළපාලිවලින්.

පසුව සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව සමුළුව ආරම්භ කෙරුණා. රැස්ව සිටි පිරිස පිළිගත් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඉදිරි දේශපාලන සැලසුම් පිළිබඳව පැහැදිලි කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව සඳහා දේශපාලන පක්ෂ 42ක නියෝජිතයින් එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ ජාතික හෙළ උරුමය ද ඒ අතරට අයත්.

පසුව සමුළුව ඇමතූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ කිසිදු හිටපු හමුදාපතිවරයෙකුට හෝ රණවිරුවෙකුට අත තැබීමට ජාත්‍යන්තරයට ඉඩ නොතබන බවයි.

ජාත්‍යන්තරයෙන් එල්ල වූ චෝදනා සහ ඊට මුහුණදුන් ආකාරය ද ජනාධිපතිවරයා පැහැදිලි කළා.

සියළු බලවේග ඒකරාශී කර ගනිමින් ගෙන යන ශක්තිමත් පුුළුල් දේශපාලන වැඩපිළිවෙලට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ආරාධනයක් ද සිදු කළා.