රට තුළ ක්‍රියාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්විම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය තුළ සිදු කළ වැටලීම්වලදී අපරාධ කල්ලි සාමාජිකයින් රැසක් අත්අඩංගුවට ගැනිමට හැකියාව ලැබුණු බවයි.

ටි.වී දෙරණ ඔස්සේ ඊයේ (10) රාත්‍රි විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව සජීවි සාකච්ඡාමය වැඩසටහන සමඟ එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මෙම අදහස් පල කළේය.

එම සාකච්ඡාවට එක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ බන්ධනාගාර තුළට දුරකතන රැගෙන ඒම බරපතළ ගැටළුවක් වී ඇති බවයි.

රට තුළ ක්‍රියාත්මක අපරාධ කල්ලි පාලනය කිරිම සඳහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම අත්‍යාවශ්‍ය කරුණක් බව එම සාකච්ඡාවට එක් වූ ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා ප්‍රකාශ කළ අතර ඊට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ද අදහස් පල කර සිටියේය.