Bookmark and Share
සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමේදී  වංචාව දූෂණය පිටුදැකිය යුතු බවත්, එහිදී දේශපාලනඥයා අවංක, චරිතවත් පුද්ගලයෙකු බවට පත්වීම අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහිදී සියලුම රාජ්‍ය නිලධාරීන් තම වගකීම උසස් ලෙස ඉටුකරන බව තමාට විශ්වාස බව ජනාධිපතිවරයා කියා සිටියේ අද (04) ගාලුමුවදොර පිටියේ පැවති  69 වන ජාතික නිදහස් දින උළෙලේදී ජාතිය ආමන්ත්‍රණය කරමිනි.

ජාතියක් ලෙස ඉදිරියට යාමට අපට හැකියාව පවත්නා බවත්, අපේ මාතෘ භූමිය ගොඩනැඟීමට එක්වෙමු කියන ආරාධනය සිදුකරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථකභාවය හා අසාර්ථකභාවයන් , වෙළඳපළ ආර්ථිකයේ සාර්ථක භාවයන් හා අසාර්ථකභාවයන් හඳුනා ජාත්‍යන්තර අර්ථික තත්ත්වයන් ද අවබෝධ කරගෙන මේ රට ගොඩනැඟීම අවශ්‍යව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

1948 නිදහසට සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ නායකයින් නායකත්වය දුන් බවත්, 1506 සිට 1948 දක්වා නිදහස වෙනුවෙන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කළ බවත්, එදා නිදහස හා අද නිදහස අර්ථ දක්වන්නේ කෙසේද යන්න සැලකිය යුතු වෙනසක් පවත්නා බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

නිදහස වෙනුවෙන් එදා රුධිරය වැගිරුව අතීත විරුවන්ගේ ගුණ සුවඳ සිහිපත් කිරීම කළ යුතුව ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.

අද නිදහස පිළිබඳ කතා කරද්දී මානව නිදහස, මාධ්‍ය නිදහස, කතා කිරීම නිදහස, සාමකාමීම එක්රැස්වීමේ නිදහස ඇතුළු අහස්කුස සිසාරා යන නිදහසක්  පිළිබඳ කතා කරන බවත්, එහිදී දේශපාලන ස්ථාවර බව, සමාජ සංවර්ධනය මුලල් කරගනිමින් කටයුතු කිරීම අවශ්‍ය වන බවත්, එය ඉටුකර ගැනීමට වාර්ගික සංහිඳියාව, ආගමික සහජීවනය අත්‍යවශ්‍ය බවත්, රජයක් ලෙස ඒ සඳහා ප්‍රමුඛත්වය දීමට කැපවී සිටින බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

වසර 30 ට අධික කාලයක් රට පීඩා විඳි එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයනේ මුදාගැනීමට කටයුතු කළ රණවිරුවන් ට කෘතගුණ සැලකීම අත්‍යවශ්‍ය බවත්, පැවති යුද්ධයේදී සාමාන්‍ය ජනතාවත් සමග ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිත පරිත්‍යාග කළ බවත්, මිය ගිය සියලුදෙනා පරාජිතයෝද, ජීවත් යන සියලුදෙනා ජයග්‍රාකයෝද යළි සිතාබැලීමට කාලය පැමිණ ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් රජය ජාතික සමගිය සඳහා ගෙනයන වැඩපිළිවෙළ අන්තර් ජාතික වශයෙන් පැසසුමට ලක්වී පවත්නා වගේම ඊට එරෙහිව කටයුතු කරන අවස්ථාවාදී, පටු වුවමනාවෙන් කටයුතු කරන අය රටට එරෙහි අය ලෙස තමා විසින් හඳුන්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

මේ යුගයේදී ප්‍රධාන වශයෙන් ආර්ථික නිදහසට මූලිකත්වය දිය යුතු වෙන බවත්, එය ලබාගැනීමට උගතුන්ගේ බුද්ධිමතුන්ගේ දැනුම හා හැකියාව මෙන්ම ගොවිජනතාව සහ කම්කරු ජනාගේ ශ්‍රම ශක්තිය, කැපකිරීම කිසිසේත්ම අමතක කළ යුතු නැති බවත් ඔහු අවධාරණය කළේය.

තරුණ පරපුර නව දැනුම ලබාගැනීමට පිපාසසයකින් කටයුතු කරන පිරිසක් බවත්, දැනුම ආර්ථිකයක් තුළ රට ගොඩනැඟීමට අවශ්‍ය මග පෙන්වීම රජයක් ලෙස ප්‍රමුඛත්වයක් දී ඉටුකරන බවත්, 21 සියවසේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට නම් ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

දැනුම නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ උරුමකරුවෝද, බාරකරුවෝද වන්නේ තරුණ පරම්පරාව වන බවත්, දැනුමේ ආර්ථිකය, නවොත්පාදන ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය ආදී නව සංකල්ප තුළ නව පරපුරට අවශ්‍ය මගපෙන්වීම ඉටු කළ යුතු බවත්, ඒ සඳහා තරුණ පරම්පරාවට මග පෙන්වීමට  උගතුන්ට බුද්ධිමතුන්ට ආරාධනා කරන බවත් ඔහු කියා සිටියේය.

2017 වසර දුගී බවින් මිදීමේ වසර ලෙස නම් කර පවත්නා බවත්, එහිදී තිරසර සංවර්ධනය තුළ රට දුගී බවින් මුදා ගැනීමට මේ රටේ සෑම කෙනෙකුගේම යුතුකම හා වගකීම ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.