ගිං ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බද්දේගම, තවලම, නාගොඩ හා වැලිවිටිය ඇතුළු පහත් බිම්වල ජනතාව ඉවත් කිරීමට කටයුතු කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගං වතුර අවස්ථාවන්හිදී යට නොවන ප‍්‍රදේශ පවා මේ වනවිට ජලයෙන් යටවී ඇති බව සදහන්.

ඉදිරි පැය හය තුළ තවදුරටත් වැසි ඇති වුවහොත් වුවහොත් කැළණි ගඟ ආශ‍්‍රිතව ප‍්‍රධාන ගං වතුර මට්ටමක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවා.

කළු ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් ඒ ආශ‍්‍රිත පහත් බිම්වල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ජූනි මස 02 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසට තද වැසි ඇති විය හැකි බවයි.

කළු, කැළණි, නිල්වලා සහ ගිං ගඟ ඇතුළු තෙත් කලාපයේ සියලූම ගංගා මේ වනවිට ගංවතුර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග අධ්‍යක්ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි පැවසුවේ එම තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි.

ගත වූ පැය 24 තුළ දකුණ සහ සබරගමුව පළාත්වලින් තද වැසි වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

එම කාලසීමාව තුළ මිලිමීටර් 196 යි දශම 7ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුනේ රත්නපුර ප‍්‍රදේශයෙන්.

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ පැවසුවේ.

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළුතර දිස්ත‍්‍රික්කයේ කඳු පහක් නාය ගොස් තිබෙනවා.

හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති  විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ දක්වා ආපදා මරණ 13ක් වාර්තාවී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආපදා තත්ත්වයන් පවතින ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ යම් රජයේ නිලධාරියෙකු ආපදා තත්ත්වයන්ට ලක්ව ඔහුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම් ඔහුගේ දෙවන නිලධාරියා හෝ ආසන්නම නිලධාරියා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම රාජකාරි ඉටු කිරීමට බැදී සිටිය යුතු බවයි.

ගං වතුර තර්ජනයට ලක්ව ඇති ප‍්‍රදේශවල නිලධාරීන්ගේ හිගයක් ඇත්නම්  ඕනෑම විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරි ඉටු කිරීමට අදාල දිස්ත‍්‍රික්කයේ ලේකම්වරුන්ට බලය පැවරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහය පළ කර තිබේ.

යුද හමුදාව සඳහන් කළේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සහන සේවා කටයුතු සඳහා යුද හමුදා සියයට අධික පිරිසක් යොදවා  ඇති බවයි.

මේ අතර නාවික හමුදාවද ගාල්ල මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සහන සේවා කටයුතු සඳහා නාවික හමුදාව යොදාවා තිබේ.

ළුව, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවලට ඩිංගි බෝට්ටු 04ක් යොදවා ඇති අතර මාතර දිස්ත්‍රික්කය සඳහා ඩිංගි බෝට්ටුවක් ද කළුතර, කලවාන ප්‍රදේශය සඳහා ඩිංගි බෝට්ටු 02ක් ද යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

ගුවන් හමුදාව ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ආපදාවෙන්  විපතට පත් ජනතාව සඳහා සහන සැලසීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා තිබේ.

ගුවන් හමුදාව සඳහන් කළේ බෙල් 212 සහ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ඒ සඳහා යොදවා ඇති බවයි.

මේ අතර බදුරලිය මාවතවත්ත ප‍්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් නිවාස 05ක් පස්වලට යටවී ඇති බව පොලිසිය පවසනවා.

එසේම  සපුගස්කන්ද – හෙයියන්තුඩුව ප්‍රදේශයේ නිවසක් මතට තාප්පයක් සහ පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

නිවස තුළ සිටි කාන්තාවන් දෙදෙනෙකු පස් කන්දට යටවී ඇති අතර රාගම රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර නෙළුව දූරිඇල වතුයායක ආපදාවට ලක්ව සිටි පිරිසක් මුදා ගැනීමට ගිය ගුවන් හමුදා සෙබලෙකු හෙලිකොප්ටර් යානයකින් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

ආපදාවට ලක්ව සිටි පුද්ගලයෙකු හෙලිකොප්ටර් යානය වෙත කේබලයක් ආධාරයෙන් රැගෙන යන අවස්ථාවේදී එම පුද්ගලයා ද සමග ගුවන් හමුදා සෙබළා ඇද වැටී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අඩි 25ක පමණ ඉහළ සිට ඔවුන් දෙදෙනා ඇද වැටී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ ගුවන් හමුදා සෙබලා සහ අනෙක් පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම හා කොක්මාදූව පිවිසුම ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් එම පිවිසුම හරහා ගමනා ගමනය ඇන හිට ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

මේ හේතුවෙන් අදාල පිවිසුම් වෙනුවට වෙනත් පිවිසුම් ඔස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය සිදු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා