රුපියල් මිලියන 1,100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 95කට අධික ප‍්‍රමාණයක් කොල්ලූපිටියේ දී අද (22) සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 05 දෙනෙක්. ඔවුන් අතරට 29 හැවිරිදි සහ 43 හැවිරිදි අමෙරිකානු ජාතිකයින් 02 දෙනෙකු ද අයත්. පොලිසිය පැවසුවේ හෙරොයින් සමඟ අමෙරිකානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ 1994 වසරෙන් පසු පළමු වරට බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 45 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු ද අත්අඩංගුවට ගැණුනා. හෙරොයින් සමඟ ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2008 වසරෙන් පසු පළමු වරට බවද පොලිසිය ප‍්‍රකාශ කළා. සෙසු සැකකරුවන් දෙදෙනා හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

මෙම හෙරොයින් තොගය අද සොයා ගත්තේ හෙරොයින් කිලෝග‍්‍රෑම් 01කට අධික ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලින්. කොල්ලූපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ නිවසක තිබී මෙම හෙරොයින් තොගය සොයා ගැණුනා. මෙහිදී සොයාගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 95කට අධික ප‍්‍රමාණය ගමන්මලූ 04ක බහා පාර්සල් 92ක් ලෙස සකස් කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ජංගම දුරකතන 09ක්, ලැප්ටොප් පරිගණක යන්ත‍්‍ර 03ක් ද සොයා ගැණුනා. සැකකරුවන් 05 දෙනා, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. අද මෙම වැටලීම සිදු කළේ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධවයි.