මැලේසියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර චෙස් තරගාවලියේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 06 ක් ඇතුළු පදක්කම් 11 ක් දිනාගත් ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම ඊයේ (28) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඊයේ පස්වරු 05.24 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-315 දරණ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක්, ජයග්‍රාහී ශ්‍රී ලංකා චෙස් කණ්ඩායමේ පාසැල්වල ගුරු භවතුන්, සිසු දරු – දැරියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

පොදු රාජ්‍ය මණ්ඩලීය ජාත්‍යන්තර චෙස් තරගාවලිය, පසුගිය 20 සිට 27 වනදා දක්වා රටවල් 11 ක ක්‍රීඩක – ක්‍රීඩිකාවන් 283 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණේ මැලේසියාවේ මලක්කා නුවරදීයි.

මෙහිදී ශ්‍රී ලංකා චෙස්, වයස අවුරුදු 08 න් පහළ කණ්ඩායම එම ඉසව්වේ රන් පදක්කම, රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම දිනාගැනීම විශේෂත්වයක්.

එම ඉසව්වේ රන් පදක්කම කුළුපන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලයේ 03 ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙතුමි විහංසා පෙරේරා සිසුවියත්, රිදී පදක්කම වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ එලීසා සෙව්වන්දි ප්‍රනාන්දු සිසුවියත්, ලෝකඩ පදක්කම මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ හසිනි අනුත්තරා රණසිංහ සිසුවියත් දිනාගෙන තිබෙනවා.