මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (14) සිදු කෙරෙනවා.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය මෙම පෙත්සම ගොණු කර තිබෙනුයේ අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය නීතිමය ප‍්‍රතිපාදනවලට පටහැනි සහ දෝෂ සහිත බැවින් එම නියෝගය ඉවත දමන ලෙසටය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 122 දෙනෙකු නම් කර තිබෙනවා.

මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය ගොණු කළ මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට කටයුතු කරන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මෝසමක් ගොණු කළා. ඒ මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සුදුසු බව සදහන් කරමින් වීම විශේෂත්වයකි.