ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේ දී අද (22) කැඳවනු ලැබුවා.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දී කුළියට ලබාගත් බස්රථ සඳහා ගාස්තු නොගෙවා ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 14 කට ආසන්න පාඩුවක් සිදු කළ බවටයි මහින්ද රාජපක්ෂ මහතාට මෙම නඩුව පවරා ඇත්තේ.

කෙසේ වෙතත් මෙහි සංශෝධිත චෝදනා පත‍්‍රයට විරෝධය දක්වන බව මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා.

මීට පෙර මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා සංශෝධිත චෝදනා පත‍්‍රයේදී විත්තිකරුවන් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

අදාළ විරෝධතා සඳහා මෙම නඩුව ලබන ජනවාරී මස 26 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.