මහින්ද රාජපක්ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප‍්‍රකාශයට පත් කර ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම අද (03) යළි අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.

ඒ, අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

ඉකුත් සිකුරාදා ද මෙම පෙත්සම් විභාගය සිදු කෙරුණා. අදාළ පෙත්සම ගොනු කරනු ලැබ තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 122ක් විසින්.

ඔවුන් පවසන්නේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවයි. එය විශ්වාසභංග යෝජනාවක් මගින් සම්මත වී ඇති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවත් පෙත්සම්කාර පාර්ශ්ව පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අනූව මහින්ද රාජපක්ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ඉකුත් සිකුරාදා පෙත්සම කැඳවූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගාමිණී මාරපන කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නඩු කටයුතු විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වනවිට මූළික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග වෙමින් පවතින බැවින් එහි අවසන් තීන්දුවක් ගන්නා තෙක් මෙම පෙත්සම සලකා බැලීමට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර තිබෙනවා.