යම් විෂ වර්ගයක් ආහාරයට ගෙන මියගිය බවට සැකකරන තරුණයෙකුගේ සිරුරක් මහරගම දුම්රියපොළ පාරේ, ලැගුම්හලක තිබී අද (03) උදෑසන සොයාගත් බව මහරගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා ඊයේ (02) සවස 1.30ට පමණ මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර සවස 6ට පමණ එම ස්ථානයෙන් පිටව යන බවට ලැගුම්හලට දැනුම්දී ඇත.

එහෙත් ඔහු පිටව නොයෑම පිළිබඳ ඇති වූ සැකයක් පිළිබඳ කාමරය පරීක්ෂා කිරීමේ දී අදාළ තරුණයා ඇඳ මත වැටී සිටිනු දැක එහි සේවකයෙක් පොලීසියට ඒ බව දැනුම්දී තිබේ. 

ඒ අනුව මහරගම පොලීසියේ නිලධාරීන් හා නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයා, මීට පෙර විෂ වර්ගයක් ආහාරයට ගෙන හෝමාගම ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ සිටි අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ මියගිය තරුණයා ඉහත සඳහන් කළ පුද්ගලයාගේ අනුගාමිකයෙකු වන බවත් ඔහු විසින් පැවැත්වූ දේශනා සඳහා සහභාගී වී ඇති බවත්ය.

මියගිය ස්ථානයේ තිබී ආහාරයට ගත් විෂ වර්ගය අඩංගු බෑගයක්, වතුර බෝතලයක් හා ජංගම දුරකථන දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය වූ ස්ථානයට සොකෝ සහ මහෙස්ත්‍රාත්වරයා පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.