සුරාජ් දැන් රංගනයට වඩා නර්තනයට මුල් තැන දීලා වගේ?

එහෙම කියන්නේ මෙගා ස්ටාර්වලින් මාව දකින්න ලැබෙන නිසා වෙන්න ඇති. නර්තනය, රංගනය කියන දේවල් මගේ මවුපියො වගේ. ඒ දෙකටම මම ගොඩක් ආදරෙයි. නර්තනයේදී වගේම රංගනයේදීත් ලොකු සතුටක් ලැබෙනවා.
ඒ නිසා රංගනයට, නර්තනයට දෙකටම මුල් තැන දෙනවා.

සුරාජ්ගේ නර්තන ප්‍රසංගවල නිතර දකින්න ලැබෙන රංගන ශිල්පිනියක් ඉන්නවා නේද?

ගිය අවුරුද්දේ නුවරදී තිබ්බ ෂෝ එකේදී යශෝධා, දිනක්ෂි, හිමාලි, තාරුකා, දමිතා රංගනයට සම්බන්ධ වුණා. එහෙම විශේෂම කෙනෙක් නැහැ.

ඔය හැමෝම අතරේ තාරුකා සුරාජ්ගේ වැඩවලදී නිතර දකින්න ලැබෙන්නේ විශේෂ හේතුවක් නිසාද?

මෙහෙමයි මම මගේ Show එකට ගොඩක් අයට කතා කළා. ඒත් කාර්යබහුල නිසා සමහරු මිස් වුණා. මමයි මගේ නර්තන පුහුණුකරුයි දෙන්නම කෙනෙක් හොයන අතරෙදි අංගම්පොර සටන් තියෙන නාට්‍යයක තාරුකා ඉන්නවා දැක්කා. තාරුකා ඒ නාට්‍යයේ අංගම්පොර පුහුණු වෙනවා දැක්කා. ඒක දැක්කම තාරුකාට නටන්න පුළුවන් කියලා හිතුණා. විශේෂයෙන්ම බුදවත්ත සර් මට කිව්වා තාරුකාට නටන්න පුළුවන් නිසා Item දෙකක් විතර එයාට දෙන්න කියලා. බුදවත්ත සර්නේ මගෙත් නැටුම් ගුරුවරයා. ඉතින් සර්ගෙ අදහසත් මේ තේරීමට හේතු වුණා.

මෙගා ස්ටාර් තරගයේ සුරාජ්ගේ ටීම් එකේ තාරුකාත් ඉන්නවා. ඒක සුරාජ්ගෙ තේරීමක්ද?

නැහැ. මෙගා ස්ටාර් තරගයට කණ්ඩායමේ පිරිස තේරුවේ හිරු එකෙන්මයි. මගේ ටීම් එක හොඳයි. එයාලත් එක්ක වැඩ කරද්දි මට මේ වෙනකම් කිසිම ගැටලුවක් වෙලා නැහැ. ඒ අය හරිම දක්ෂයි.

නර්තනය ගැන දන්න නිසාද සුරාජ් මෙගා ස්ටාර්වල මුල් තැන ගන්නේ?

අපිට නර්තන පුහුණුකරුවෙක් ඉන්නවා. මම කරන්නෙ ඒ නැටුම් ටිකක් පොලිෂ් කරන එක විතරයි. අනෙත් එක අපි උත්සාහ කරන්නේ උඩරට, පහතරට, බටහිර මොනම ආකාරයේ නර්තනයක් වුණත් හරි විදියටම ප්‍රේක්ෂකයන්ට දෙන්නයි අපි හරි දේ තමයි ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕන. අපිට බොරු කරලා දිනන්න ඕන නැහැ.

නර්තන දැනුම රංගනයට පහසුවක් කියලා හිතනවාද?

ඔව්. ලෝකේ නර්තන ශිල්පීන්ට රංගනයටත් හැකියාවක් තියෙනවා කියලා අහලා තියෙනවා. මානසික සහනයක් නර්තනයෙන් ලැබෙන තවත් වාසියක්. නර්තනය කොහොමත් රංගනයට සම්බන්ධයි. ඒ නිසා නර්තනය රංගනයට ලොකු පහසුවක් වෙනවා. ඒත් මට නර්තනය නිසා නම් රංගන අවස්ථා ලැබිලා නැහැ. ඒත් ඉදිරියේදී එහෙම ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

රංගනයට මෑතකදී එක්වුණු නළුවන්ටත් ඒ නිර්මාණවල නර්තන අවස්ථා ලැබුණත් කාලයක් ක්‍ෂේත්‍රයේ ඉන්න සුරාජ්ට එවැනි අවස්ථා නොලැබෙන්නේ ඇයි?

මම ක්‍ෂේත්‍රයෙන් අයින් වෙලා නෑනේ. මැරෙනකල්ම රඟපානවනේ. ඉදිරියේදී එහෙම අවස්ථා ලැබෙයි කියලා හිතනවා. හැමදේටම වාසනාවත් බලපානවනේ. මට වැඩිය අනෙක් නළුවන්ට ඒ වාසනාව ඇති. මට එහෙම අවස්ථාවක් ලැබුණොත් මම ඒක උපරිමයෙන්ම කරනවා.

ඒ කියන්නේ සුරාජ් වාසනාව කියන දේ ගොඩක් විශ්වාස කරනවාද?

මෙහෙමයි. ඇත්තටම රංගන ශිල්පියෙක් වෙන්න මට වාසනාව 70%ක් විතර බලපෑවා. නැත්නම් මම නළුවෙක් වෙන්න හීනෙකින්වත් හිතපු කෙනෙක් නෙවෙයි. ඒත් මම දැන් කලාවේ ඉන්නවා. මීට කලින් රැකියාවන් කිහිපයක්ම කළත් ඒ හැමදේම අතහැරලා අවසානේ කලාවේ රැඳෙනවා කියලා තීරණය කළේ ඒකෙන් ලැබෙන තෘප්තිය වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැති නිසා. ඇත්තටම කිව්වොත් කලාවට තියෙන පෙරේතකම නිසා අනෙක් හැම දේම අතහැරලා රංගනය තෝරා ගත්තා.

සුරාජ්ව ඉදිරියේදී දකින්න ලැබෙන ටෙලි නිර්මාණ ගැනත් කියමු?

ටෙලිනාට්‍ය නම් ගොඩක් කළා. චන්දන ධර්මප්‍රියගේ ‘චුට්ටේ’ නාට්‍යයේ කුණු ට්‍රැක්ටර් පදවන රියැදුරෙක්ගේ චරිතයක් කළා. මේ දවස්වල විකාශය වන ‘හාරකෝටි’ නාට්‍යයේ ඉන්නෙත් කළු චරිතයක් විදියට. ‘කා’ නාට්‍ය කළා. ඒක සමාන්තර ලෝක ගැන කියැවෙන කතාවක්. මේ චරිත හැම එකක්ම එකිනෙකට වෙනස්.

පෙම්වතාගේ චරිතයෙන් අෑත් වෙලා වෙනස් චරිත කරන්න ලැබිලා වගේ?

ඔව්. මම හරි කැමැතියි වෙනස් චරිත ලැබෙනවාට. අපි චරිතයක් කරද්දී ඒක ගවේෂණය කරනවා. එතැනදී ජීවිතේ ගැනත් ලොකු අවබෝධයක් ලැබෙනවා. හැමදාම දකින පෙම්වතාගේ චරිතෙන් මිදිලා ඒ ගවේෂණයෙන් මම කවුද කියලා අවබෝධයක් ගන්නත් මේක හොඳ අවස්ථාවක්. නළුවො කියන්නේ සමාජේ කැඩපතක්. සමාජයෙ චරිත නිරූපණය කරන්නෙ අපිනේ. ඒ නිසා ඒ රංගනය හොඳ ගවේෂණයකින් කරන්නත් ඕන.

සුරාජ්ගේ පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියන්නේ ඇත්තක්ද?

ඔව්. මම විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. විවාහය මේ අවුරුද්දේ, නැත්නම් ලබන අවුරුද්දෙ වෙන්නත් පුළුවන්. තාම ඒක ස්ථීර වුණේ නම් නැහැ. ස්ථිර වුණු ගමන් කියනවා.

ශාලිකා රංගනි සමරදිවාකර