Dayasiri

සූරියවැව මහින්ද රාජපක්ෂ  ක්‍රීඩාංගණයේ ප්‍රවේශ ශාලා විවාහ උත්සව සඳහා කුලියට දෙන්නේ අද ඊයේ සිට නොවන බවත්, එය පසුගිය රජය සමයේ සිට ආරම්භ වූ දෙයක් බවත්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ගමගේ මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපළේ ඇතැම් ශාලා වී ගබඩා කිරීමට වෙන් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිර්මාණය වූ පුවත් මෙන් තමන් ඊයේ පාර්ලිමේන්තුවේදී  මේ ගැන කළ ප්‍රකාශයද වෙබ් අඩවි හා පුවත්පත් විකෘති කර පළකර ඇතැයි  අමාත්‍යවරයා අද නැවත වරක්  පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සූරියවැව ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ඊයේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා පැවසුවේ එය විවාහ උත්සව සඳහා දිනකට රුපියල් 10,000 වැනි මුදලකට ලබාදෙන බවයි.

ඒ ගැන අදත් සභාවේ අවධානය යොමු කළ අමාත්‍යවරයා එම කටයුත්ත ආරම්භ කළේ වත්මන් රජයෙන් නොවන බවත්, පසුගිය රජය සමයේද රුපියල් 5000 -10,000ත් අතර මුදලකට එම ක්‍රීඩාංගණය දුන් බව කියා සිටියේය.