බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් ඇතුළු සැකකරුවන් තිදෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය එහිදී නියෝග කළේ  සැකකරුවන් ලබන 29දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.  

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පීඩාකාරී ආයුධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදු කෙරෙන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණ හමුවේ කරුණු දක්වා තිබෙනවා. විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවත් එය අවසන් කර අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයේ ඉල්ලීමක් කළ බවයි පැවසුවේ.  

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බවයි වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.