ඊයේ (20) දිනයේදී කොරෝනා ආසාධිත පුද්ගලයින් දෙදෙනෙක් බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

එම රෝගීන් දෙදෙනා නිරෝධායන ක්‍රියාවලියෙන් පිටතදී හමුවූ පුද්ගලයින් බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

මෙලෙස හමුවූ එක් රෝගියෙක් පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙක් වන අතර ඔහුට වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව යුධ හමුදාපතිවරයා කියා සිටියා.

මෙම මාළු ව්‍යාපාරිකයා මාළු අලෙවි කිරීම් සඳහා ස්ථාන රැසකට ගොස් ඇති බවත් ඔහු ඇසුරු කළ පුද්ගලයින් සමබන්ධයෙන් විමර්ශනය කරන බවට යුධ හමුදාපතිවරයා කියා සිටියා.

එමෙන්ම බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වු අනෙක් කොරෝනා ආසාධිත පුද්ගලයාට එම වෛරසය කොට්ටාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී සම්ප්‍රේෂණය වූ බවට සැක පළ කරන බවයි හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

මෙම රෝගියා රුධිර පාරවිලනය කිරිම සඳහා කොට්ටාව ප්‍රදේශයේ පිහිටි එම වෛද්‍ය මධ්‍යස්ථානයට සතියට දින 03ක කාලයක් යන අතර මෙරටින් වාර්තා වූ 114 වන කොරෝනා ආසාධිතයා එම රෝහලට පැමිණි බවට හෙළිව ඇති බව ඔහු සඳහන් කර සිටියා.

මේ වන විට බොරලැස්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

මේ අතර පිළියන්දලින් වාර්තා වූ කොරෝනා ආසාධිත මාළු ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් කරුණු වාර්තා වීමත් සමග පවුල් 15 කට අයත් පුද්ගලයින් 71ක් දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල සඳහන් කර සිටියා.