මෘත ශරීරලන බහාලන බෑග් 1000ක් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙන් ඉල්ලා තමන් විසින් නිකුත් කළ ලිපිය සත්‍ය බවත් එය කොරෝනා වෛරසය හේතුවෙන් සිදුකළ ඉල්ලීමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස් ප්‍රකාශ කර සිටිනවා.

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරටේදී වුවද හඳුනා නොගත් රෝගයකින් මිය යන පුද්ගලයින් සහ සැක කටයුතු මරණ බහාලීම සඳහා මෘත ශරීරලන බහාලන බෑග් අවශ්‍ය බවයි කියා සිටියේ.

වෛද්‍ය සැපයුම් අංශය සතුව මෘත ශරීරලන බහාලන බෑග් 300ක් පමණ තිබුනත් වසංගත තත්ත්වයක් හමුවේ සැක කටයුතු පුද්ගල මරණ බහාලීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට මෘත ශරීරලන බහාලන බෑග් තිබීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි අතිරේක ලේකම්වරයා කියා සිටියේ.

” සෑම විටම අප සිතිය යුත්තේ ජනතාවගේ ආරක්ෂාව ගැනයි. වෛද්‍ය සැපයුම් අංශය මට දන්වා සිටියා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා මෘත ශරීරලන බහාලන බෑග් ලබා ගැනීමට හැකි බවට. ඒ සම්බන්ධයෙන් සිදුකළ යුතු නිල ක්‍රමවේදයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාල ආයතනයෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.

නමුත් මෙම ලිපිය පිටතට නිකුත් වුනේ කොහොමද කියා සොයා බැලීම වැදගත් වනවා. මම අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමිය හමුවී මේ සම්බන්ධයෙන් පොලිසියට නිසි විමර්ශනයක් කරන්න කියා ඉල්ලා සිටිනවා”. යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස් ප්‍රකාශ කර සිටියා.

මේ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ වෛද්‍ය සැපයුම් අංශය විසින් ඖෂධ මෙන්ම මෘත ශරීරලන බහාලන බෑග් ද නිශ්චිත තොග ප්‍රමාණයක් පවත්වාගෙන යන බවයි.

මේ හේතුවෙන් එවැනි ඇණවුම් සිදුකරන බවත් හුදෙක්ම මෙය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කළ ඉල්ලීමක් නොවන බවද කියා සිටියා.

එමෙන්ම මෙරට කොරෝනා වෛරසය නිසා මෙරට සිදුවන මරණ අනුපාතය ද ඉතා අඩු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා අවධාරණය කර සිටියේ.