කොළඹට ඇතුළු වන බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසනවා. ඒ, අද අලුයම පහේ සිට ලබන සදුදා අලුයම 5 දක්වායි. එම කාලය තුළ මාර්ගය වසා තැබෙන්නේ කැළණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ කොළඹට ඇතුළුවීමේ මාර්ගය කාපට් ඇතිරීම හේතුවෙන්.

මේ හේතුවෙන් කොළඹට පැමිණෙන රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග ලෙස කැළණි තිස්ස වටරවුම හරහා ඉගුරුකඩේ හංදියට පිවිස සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, ආමර් බාබර් හංදියෙන් මහා විද්‍යාලය මාවත ඔස්සේ පිටකොටුවට ගමන් කළ හැකියි. ආමර් වීදිය, පංචිකාවත්ත වටරවුම, මරදාන හරහා පිටකොටුවටද බොරැල්ල දෙසට ගමන් කළ හැකි බවයි පොලීසිය සදහන් කළේ.

එමෙන්ම ප්‍රදිපා මාවත ඔස්සේ සද්ධර්ම මාවතින් නැවත බේස්ලයින් මාවතට පිවිස දෙමටගොඩ දෙසට ගමන් කළ හැකි බවද පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා. කොළඹින් පිටවන රථ වාහන සදහා ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැළණිතිස්ස වටරවුම දක්වා වූ මාර්ගය විවෘතව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.