මාවනැල්ල ඇතුළු ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය පිටුපස දේශපාලස හස්ථයක් ඇති බවට අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල කළ ප‍්‍රකාශය ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් සිදුකළ එකක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පවසනවා.

ඔහු ඒ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ “දිගන සිද්ධියත් නාමල් කුමාර හෙළිකරපු කරුණු අනුව පැහැදිළිව එක්සත් ජාතික පක්ෂ රජය විසින් උසි ගන්වපු සිද්ධියක්. ඒ අය තදබල ලෙස ජාතීන් අතර බෙදීම තිබිය යුතුයි කියලා විශ්වාස කරන කණ්ඩායමක්. ඒ ඒ අයගේ දේශපාලන වාසිය සඳහා. මැතිවරණවලින් දිනන්න බැරි නිසා ජාතිවාදය පතුරුවලා දිනන්න උත්සහ කරනවා.” යනුවෙනි.

ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඉදිරි දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙම ප‍්‍රකාශ සිදුකර ඇති බවයි දිලූම් අමුණුගම මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මාවනැල්ල නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් නතර කරන ලෙස මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබුණේ මාවනැල්ල අවට බුදුපිළිම කැඞීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කරන ලෙසට ඉල්ලීම් කරමිනුයි.

ප‍්‍රදේශයේ නීතිය හා සාමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම උද්ඝෝෂණය නොපවත්වන ලෙසටයි මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇත්තේ.