බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ ඊයේ ජාතිය අමතනු ලැබුවා. නත්තල් උත්සවය සහ එරට නව පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ සැසිවාරය ආරම්භයේදී පමණක් ජාතිය ඇමතීම සිදු කරන මහ රැජිණගේ මෙවර එවැනි දෙයක් සිදුකිරිම විශේෂිත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හමුවේ රටක් වශයෙන් නොව සෙසු රටවල් සමග සාමුහිකව මුහුණ දීමට සිදුව ඇති බවයි බ්‍රිතාන්‍ය මහ රැජිණ මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

” අපි එක්ව මෙම රෝගයට මුහුණ දෙමු. අපි එකමුතුව හා අධිෂ්ඨානශීලිව සිටියහොත් අපි එය ජය ගන්නා බව සහතික කිරීමට මට අවශ්‍යයි” රැජිණ පවසා සිටියා.

“ඉදිරි වසර කිහිපය තුළ මෙම අභියෝගයට ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන සෑම දෙනාටම ආඩම්බර වීමට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වනවා.

සෞඛ්‍ය සේවකයින් සහ අත්‍යවශ්‍ය සේවා සඳහා කටයුතු කරන ලබන සේවකයින්ට මෙහිදී මහ රැජිණ සිය ස්තූතිය පුද කළ අතර බලාපොරොත්තුව හා එකමුතුකම මත ඇතිවී තිබෙන වසංගතයට මුහුණ දිය හැකි බවට ප්‍රකාශ කර සිටියා.

ස්වයං හුදෙකලා වීමේ දුෂ්කරතා  සම්බන්ධයෙන් අදහස් දක්වමින් රැජිණ ප්‍රකාශ කර සිටියේ එම කාල සීමාව මන්දගාමී වුවත් යාච්ඤාව සහ භාවනා කිරිමට එය අවස්ථාවක් කර ගන්නා ලෙසයි.

මිනිත්තු පහකට ආසන්න කාලයක් ජාතිය ඇමතීම සිදුකළ බ්‍රිතාන්‍යයේ මහ රැජිණ සිය කතාවේ අවසානයේදී මෙසේ ප්‍රකාශ කර සිටියා.

” අපට තව දුරටත් විඳදරාගත හැකි වුවත්, වඩා හොඳ දවස් නැවත පැමිණෙනු ඇතැයි අපට සැනසීමක් ලබා ගත හැකිය. අපි නැවතත් අපගේ මිතුරන් සමඟ සිටිමු. අපි නැවතත් අපගේ පවුල් සමඟ සිටිමු. අපි නැවත හමුවෙමු” යැයි ප්‍රකාශ කර සිටීයා.