වවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද අළුයම සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඒ අතර කාන්තාවන් නවදෙනෙකුද සිටිනවා. තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.

යාපනය සිට කොළඹ බලා ධාවනය වු එම බස් රථය නොච්චිමොටෙයි පාලමේ ගැටීමෙන් මෙම අනතුරු සිදුව තිබෙනවා. මියගිය අය අතර බස් රථයේ රියදුරාද වන බවයි වාර්තාකරු පැවසුවේ.

මේ අතර බස් රථය පෙරළි ඇති ස්ථානය නිරීක්ෂණය කරමින් ධාවනය වූ තවත් සුඛෝපභෝගී බස් රථයක්ද අදාළ ස්ථානයේදීම මාර්ගයෙන් ඉවතට පැන අසල ගසක වැදීමෙන්ද අනතුරට ලක්ව තිබෙනවා. කෙසේවෙතත් එම බස් රථයේ සිටි කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තාකරු පැවසුවේ.