ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොසළකා හැර කතානායකවරයා ක්‍රියාකර ඇතැයි පෙනී යන බවත්, එම යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට සහතික නොකළ අත්සන් ලේඛණයක් තමා වෙත ඉදිරිපත් කිරීම පිළිබදව කනගාටු වන බව සදහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කතානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිතිය ඉදිරියේදී විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවකදී කතානායකවරයා වශයෙන් ගත් ක්‍රියා මාර්ග එකී නඩුවේ හරයට අගතිදායක වන බව දැන්වීමට කැමති බව ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි තමන් විසින් අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේදී ජනාධිපති වශයෙන් තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට විධිවිධාන ඇති නමුත්, අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බව ජනාධිපතිවරයා කියා සිටියි.

මෙහිදී සිය ලිපිය මගින් වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ,

කතානායකවරයා ලෙස පත්වන තැනැත්තා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණියත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවයත්, ඒ පිළිබඳව ජනතාව තබා ඇති විශ්වාසයත් ආරක්ෂා කර ගැනීම පිණිස ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කණගාටුවෙන් වුවත් මතක් කර දෙන්නෙමි.

එමෙන්ම කතානායකවරයා විසින් එවන ලද ලිපියේ යෝජනා අංක 1 මගින් දන්වා ඇති කරුණ එනම් එහි සදහන් පත්වීම් සහ නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට දක්වා ඇති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බව දන්වා ඇත. එම අංක 1 යෝජනාවේ ගනු ලැබූ ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නීතිමය තීරණයන් බවත්. කතානායකවරයා ඒවා ඇති මන්ත්‍රි අත්සන් ලේඛණයේ මුල් පිටපතෙහි පරණ දිනයක් මකා ඒ උඩ නොවැම්බර් මස 14 දිනය ලෙස යොදා ඇති බව ජනාධිපතිවරයා සිය ලිපිය මගින් සදහන් කර තිබේ“.

තවද, අගමැතිවරයෙකු පත් කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟවූ පුර්ණ බලධරයා වන්නේ ජනාධිපතිවරයා බවද වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටින බව සිය ලිපිය අවසන් කරමින් ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට දැනුම් දී තිබේ.