අවසන් වසර එකහමාර තුළදී සිය පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ තම කණ්‌ඩායම ඉතාමත් හොඳ දියුණුවක්‌ ලබා තිබෙන බැවින් මෙම සංචාරයේදී හොඳ තරගාවලියක්‌ ලබා දෙමින් ජයග්‍රහණයක්‌ ලබා ගන්නට බලාපොරොත්තුවෙන් පසුවන බව බංග්ලාදේශ නායක මුස්‌ෆිකර් රහීම් පවසයි.

පළමු ටෙස්‌ට්‌ තරගයට පෙර බංග්ලාදේශ කණ්‌ඩායම දෙදින පුහුණු තරගයට අද (02 දා) මොරටුවේදී සහභාගි වන අතර අනතුරුව ලබන 7 වැනිදා ගාල්ලේදී පළමු ටෙස්‌ට්‌ තරගයට සහභාගි වේ. බංග්ලාදේශ ක්‍රිකට්‌ ඉතිහාසයේ සියවැනි ටෙස්‌ට්‌ තරගය සනිටුහන් වන තරගයද ලබන 15 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

”අපි අවසන් වසර එකහමාර තුළදී අපේ පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ ඉතාමත් හොඳ දියුණුවක්‌ ලබා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ප්‍රබලයන් නැති ශ්‍රී ලංකා පිලට එරෙහිව හොඳ තරගයක්‌ දෙන්න. මොකද වෙනදා අපි ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කරනකොට මහේල, සංගක්‌කාර, මුරලි, වාස්‌, ඩිල්ෂාන් වැනි නම් දැරූ ක්‍රීඩකයන් හිටියා. ඉතිං අපිට හොඳ අවස්‌ථාවක්‌ තියෙනවා.” යෑයි බංග්ලාදේශ නායකයා තරගාවලිය පිළිබඳව සුබවාදී අදහස්‌ දක්‌වා සිටියේය.

බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසා සිටියේ කණ්‌ඩායම් දෙක සංසන්දනය කරනවාට වඩා මෑත කාලයේ ඔවුන් ක්‍රීඩා කළ තරග පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. ”මම ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබන විට ගොඩක්‌ සතුටු වෙනවා. ඔවුන් පසුගියදා ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඉතාමත් විශිෂ්ට ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ ලබා ගත්තා. බංග්ලාදේශ කණ්‌ඩායම වෙනුවෙන් මා කරන්නේ මගේ රැකියාවක්‌. මා ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්‌ඩලයේ සිටි කාලය සහ දැන් ශ්‍රී ලංකා පිල සසඳනවාට වඩා මම අවධානය යොමු කරන්නේ මගේ රැකියාව දියුණු කරගන්න. කොහොම වුණත් ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය තරග කරන්නෙ ඉතාමත් සතුටින්. මොකද බංග්ලාදේශයේ ක්‍රිකට්‌වලට ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිට ලොකු සහයෝගයක්‌ ලබාදීල තියෙනවා. වෙන කිසිදු රටකට වැඩිය ශ්‍රී ලංකාව බංග්ලාදේශ ක්‍රිකට්‌වලට උදව් කරල තියෙනවා” යෑයි හතුරුසිංහ පැවසීය.

බංග්ලාදේශ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ කටයුතු කරන අතර පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස රුවන් කල්පගේ කටයුතු කරයි. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ හිටපු ශාරීරික ව්‍යායාම් පුහුණුකරු මාරියෝ වෙල්ලවරායන්ද බංග්ලාදේශ පිල සමග කටයුතු කරනු ලබයි.

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2) පළමු තරගයට එක්වෙයි.

මුල් තරග 3 සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා කුසල් ජනිත් පෙරේරා එක්කර තිබීම වි‍ශේෂත්වයකි. පසුගියදා නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයේදී මෙන්ම අන්තර් සමාජ තරගාවලියේදීත් ලකුණු අතරට පිවිසීමට කුසල් ජනිත් පෙරේරා අපොහොසත්වූ අතර ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරටදී පැවැති තරගාවලියට එක්වූ තිසර පෙරේරාට ඉන් පසු ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් නොලැබුණි.

එමෙන් පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහනමකට ලක් කළ කිත්රුවන් විතානගේ එම තහනම අත්හිටුවීම හේතුවෙන් මේ කණ්ඩායමට එක්කර තිබේ. ඔහුගේ තහනම අන්තර් සමාජ තරගාවලියට පෙර අත්හිටවූ බැවින් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ නායකයා ලෙසින් එහි තරග 10කට එක්වූ විතානගේ ලකුණු 504ක් රැස් කිරීමට සමත් විය.

එම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා මෙන්ම ලයන්ස් පිල සමග දෙවැනි සිවුදින තරගයේදී වේගවත් ලකුණු 185ක් රැස්කරමින් පිතිකරණයෙන් දස්කම් දැක්වු 21 හැවිරිදි සධීර සමරවික්‍රම ද මේ තරගාවලියට එක්කර තිබේ.

නිමාවූ දකුණු අප්‍රිකාව සමග තරගාවලිය අතරතුර ආබාධයක් හේතුවෙන් ඉන් ඉවත් වූ ධනුෂ්ක ගුණතිලක සමගින් ලබන සතියේ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් සංචිතයට පළමු වරට එක්කර සිටින වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර හා වේග පන්දු යවන ක්‍රීඩක විකුම් සංජයද මේ තරගාවලියට එක්කර තිබීම කැපී පෙනේ.

මේ තරගාවලියේ‍ තෙවැනි තරගය 6වැනිදා පැවැත්වෙන අතර බංග්ලාදේශය සමග ටෙස්ට් තරගාවලිය 7වැනිදා ආරම්භ වෙයි.

ලයන්ස් පිල සමග සිවුදින තරගාවලියට එක්වූ උදාර ජයසුන්දර, රොෂේන් සිල්වා, ළහිරු ගමගේ, කසුන් රාජිත, රොන් චන්ද්‍රගුප්ත, කසුන් මදුසංක හා දිල්රුවන් පෙරේරා මුල් තරග 3 සඳහා නම් කළ සංචිතයට එක්ව නැත.

එංගලන්ත ලයන්ස් පිල වෙනුවෙන් සිවුදින තරගාවලියේදී කණ්ඩායමේ නායක්තවය දැරූ කීටන් ජෙනින්ග්ස් මේ තරගාවලියේදීත් කණ්ඩායම මෙහෙයවනු ඇත.

දෙපිල අතර පැවැති නිල නොවන සිවුදින ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව නිමාවු බැවින් එක්දින තරගාවලියේදීද තියුණු තරගකාරිත්වයක් දැක ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල – මිලින්ද සිරිවර්ධන (නායක), කුසල් ජනිත් පෙරේරා (කඩුලු රකින්නා), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, සඳුන් වීරක්කොඩි, ෂෙහාන් ජයසූරිය, කිත්රුවන් විතානගේ, චරිත් අසලංක, තිසර පෙරේරා, ළහිරු මධුසංක, අසිත ප්‍රනාන්දු, විකුම් සංජය, අමිල අපොන්සු, ජෙෆ්රි වැන්ඩසේ, මලින්ද පුෂ්පකුමාර

එංගලන්ත ලයන්ස් පිල – කීටන් ජෙනීන්ග්ස්, ඩැනියෙල් බෙල් ඩමන්ඩ්, ටොම් අල්සොප්, බෙන් ඩකට්, ජෝ ක්ලාක්, ලියාම් ලිවින්ග්ස්ටෝන්, බෙන් ෆෝක්ස්, සෑම් කූරන්, මාක් වුඩ්, ක්‍රෙග් ඕවර්ටන්, ටොම් හෙල්ම්, ජෙම්ස් ෆුලර්, ඔලිවර් රයිනර්, ජෝෂ් ‍පොයිස්ඩන්, ටෝබ් රෝලන්ඩ් ජෝන්ස්