කොවිඩ් -19 වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් නවතා තිබූ ‘පොලිස් මහජන සහන දිනය’ නැවත ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, දෙසැම්බර් 15 වන සිකුරාදා දින සිට පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇති බව ය.

ඒ අනුව, සෑම සිකුරාදා දිනක ම උදෑසන 9:00ට රජයේ නිවාඩු දිනයන් හැර පොලිස් මහජන සහන දිනය ආරම්භ කිරීමට නියමිත ය.

පොලිස් ස්ථානවලට සහ විමර්ශන අංශවලට පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පැමිණිලිවලදී අපේක්ෂිත සහනයක් නොලැබුණ හෝ අනවශ්‍ය ප්‍රමාදවීම් පිලිබඳව වන යුක්තිසහගත සහ සාධාරණ කරුණු සම්බන්ධයෙන් පොලිස්පති වෙත එම දිනයන්වල පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරට ත් සඳහන් කළේ, වැඩබලන පොලිස්පති සෑම සිකුරාදා දිනක ම මහජන සහන දිනයට පැමිණීමට අපේක්ෂා කරන අතර එහිදී ඍජුව ම මහජනතාවගේ පැමිණිලි පිලිබඳ පිළිතුරු ලබා දීම සිදු කරන බව ය.