තවත් සති දෙකක් යන තෙක් සාමාන්‍ය මගීන් පොදු ප‍්‍රවාහනයට යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් ලබාදී තිබෙනවා.

කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය හෙට (11) දින සිට ලිහිල් කිරීමට මේ වනවිටත් රජය තීරණය කර අවසන්. ඒ් අනුව හෙට දින සිට රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් සහිතව ආරම්භ කිරීමට නියමිතයි.

එහිදී සාමාන්‍ය ජනතාව අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පොදු ප‍්‍රවාහනයට යොමුවිය හැකි බැවින් ඒ සදහා පහසුකම් ලබා නොදෙන ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට උපදෙස් දී ඇත්තේ. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීරගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ හෙට සිට පොදු ප‍්‍රවාහන සේවා රාජකාරී අවශ්‍යතා වෙනුවෙන් පමණක් ලබාදෙන බවයි. 

හෙට සිට පෞද්ගලික බස්රථ සේවා ධාවනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයක නොමැති බව පෞද්ගලික බස් හිමියන් පවසනවා.  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් කියාසිටියේ පෞද්ගලික බස්රථ ධාවනයේ විශාල අඩුවක් සිදුවිය හැකි බවයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ රජය විසින් කිසියම් පිළිගත හැකි ක‍්‍රමවේදයක් සකසන්නේ නම් බස්රථ ධාවනයට සම්බන්ධ විය හැකි බවයි. 

කෙසේවෙතත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක පැවසුවේ පෙර සැලසුම් කළ පරිදි හෙට උදෑසන සිට බස් රථ ධාවනය කරන බවයි.

අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ රජය විසින් හෙට දින රට නැවතත් විවෘත කරන්නේ සාමාන්‍ය ජනතාවට ගමන්බිමන් යාම සඳහා නොව රටේ ආර්ථිකය නංවා, ඉදිරියේ දී ඇති විය හැකි ආර්ථික දරිද්‍රතාව මග හරවා ගැනීමේ අරමුණින් බවයි.