පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම ඊයේ (1) දිනයේත් සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවේය.
එහිදී සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ලැබී ඇති බවට බුද්ධි අංශයෙන් තොරතුරු ලැබුණත් විමර්ශනයේ දී එවැනි දෙයක් අනාවරණය නොවුණු බවයි.
ඉකුත් සිකුරාදා දිනයේ කොමිසම හමුවේ සාක්ෂි දුන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා යලි ඊයේ දිනයේත් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
එහිදී ඔහු කොමිසමට ඉදිරිපත් කර සිටියේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඔහුගේ ෆේස් බුක් ගිණුමේ පළ කර තිබූ අන්තවාදී ප්‍රකාශ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන ගොනු සම්බන්ධයෙන් වූ තොරතුරුයි.
ඒ අනුව සහරාන් හෂීම් විසින් 2018 ජනවාරි 6 වැනි දා සිට අවස්ථා රැසකදී විවිධ අන්තවාදී මාතෘකා යටතේ වූ ප්‍රකාශයන් ඔහුගේ ෆේස් බුක් ගිණුමට එක් කර තිබූ බව සාක්ෂිකරු සඳහන් කළේය.
සමාජ ජාලා ගිණුම් මඟින් දැඩි මත සහ සමාජයේ කරුණු විවේචනය කරමින් කල ප්‍රකාශවලින් ජාතික තවුහිත් ජමාත් සංවිධානයට මෙතෙක් එක් නොවුණු මුස්ලිම් තරුණ පිරිස් ඒ වෙත එක් කර ගැනීමක් සිදුවී ඇති බවත්, ඉදිරි කාලයේදී රට තුළ කලබලයක් ඇති විය හැකි නිසා මොහුට විරුද්ධව පියවර ගත යුතු යැයි සඳහන් කරමින් 2018 මාර්තු 16 වැනි දා එවක පොලිස්පතිවරයාට විමර්ශන ලිපි ගොනු යැවූ බවයි විමර්ශන නිලධාරියා සඳහන් කළේ.
මීට අමතරව කාත්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් සහ තවත් මුස්ලිම් කණ්ඩායමක් අතර ඇති වූ ගැටුමෙන් පසු ඔහු සහ ඔහුගේ සොහොයුරා වූ රිල්වාන් ද ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි බව ද සාක්ෂිකරු පවසා සිටියේය.
මෙලෙස තමන් සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් වූ තොරතුරු අවස්ථා රැසකදී පොලිස්පතිවරයාට යවා තිබුණත් ඔහු ඒ සම්බන්ධයෙන් සිදු කර තිබුණේ වැඩිදුර වාර්තා ඉල්ලීම බවයි සාක්ෂිකරු පැවසුවේ.
එහිදී පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් සිදු කර තිබෙන්නේ වැඩිදුර වාර්තා කැඳවීම පමණක්ද යන්න කොමිසමේ සභාපති විනිසුරුවරයා නැගූ ප්‍රශ්නයට විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේ “ඔව්” යන්නයි.
ඔහු සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවකදී නියෝගයක් පොලිස්පතිවරයා විසින් සිදු කර නැද්ද යන්න යළි කොමිසම විමසා සිටියේය.
ඊට සාක්ෂිකරු ලබා දුන්නේ “නැත” යන පිළිතුරයි.
ඉන් අනතුරුව කොමිසම හමුවේ ඉදිරිපත් කෙරුණේ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් පොලිස්පතිවරයාට 2018 4.12 දින යොමු කරන ලද ලිපියක්.
එහි සඳහන් කර තිබුණේ සහරාන් හෂීම් විසින් 2018 මාර්තු 5 වැනි දා ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබූ අන්තවාදී ප්‍රකාශයක් සම්බන්ධයෙන්.
දිගන හා තෙල්දෙණිය යන ප්‍රදේශවල ඇතිවූ සිද්ධියෙන් පසු මුස්ලිම්වරු ඊට විරුද්ධව අවි ආයුධ රැගෙන පෙළගැසිය යුතු බව එහි සඳහන්ව තිබුණු අතර ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ සහරාන් හෂීම්ගේ අදාළ ප්‍රකාශය තවත් පුද්ගලයින් 96 දෙනෙකු විසින් ප්‍රචාරයකර ඇති නිසා මේ ගැන අවශ්‍ය පියවර ගෙන සහරාන්ව වළක්වන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිය කොට්ඨාශය මගින් සිදු කළ බවත් කාත්තන්කුඩියේ ක්‍රියාත්මක වන ජාතික තවුහිත් ජමාත් සංවිධානය සහ සහරාන් හෂීම් ජන වර්ග අතර ගැටුම් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම නිසා ඉදිරියේදී ප්‍රචණ්ඩත්වයක් ඇති විය හැකි බව තමා පොලිස්පතිවරයාට දන්වා යැවූ බව ද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
එමෙන්ම සහරාන් හෂීම්ට එරෙහිව අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට සිටින බවත්, ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීම සඳහා සිය කොට්ඨාශය සකස් කළ ලිපි ගොනුවක් 2017/06/07 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවට යැවූ බවත් විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේය.
එම ලිපි ගොනුව අධ්‍යයනය කරමින් සිටියේ මලික් අසීස් නම් නිලධාරියා බවයි සාක්ෂිකරු පැවසුවේ.
නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගෙන තිබුණේ දැයි කොමිසම නැගූ ප්‍රශ්නයට සාක්ෂිකරු සඳහන් කළේ නැත යන්නයි.
සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිත් ජමාත් සංවිධානයට දේශපාලන රැකවරණය ලැබී තිබුණේ දැයි කොමිසම විමසා සිටියේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සහරාන්ට දේශපාලන රැකවරණය දුන් බවට බුද්ධි අංශයෙන් තමාට දැන ගන්නට ලැබුණත් තමා සිදු කළ විමර්ශනයේ දී එවැනි දෙයක් අනාවරණය නොවුණු බව සාක්ෂිකරු කොමිසමට ප්‍රකාශ කළේය.
අනතුරුව විමර්ශන නිලධාරීයා කොමිසමට ඉදිරිපත් කළේ සහරාන්ගේගේ facebook ගිණුම සම්බන්ධයෙන් ඔහු ගත් ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳවයි.
සහරාන් හෂීම් වසර ගණනාවක සිට අන්තවාදී ප්‍රකාශ සිය ෆේස්බුක් ගිණුම මඟින් සිදු කරමින් සිටි පසු බිමක සිය කොට්ඨාශය ෆේස්බුක් ආයතනයෙන් ඔහුගේ ගිණුම අත්හිටුවන්නැයි අවස්ථා රැසකදී ඉල්ලීම් සිදු කළ බවද ඔහු පැවසුවේය.
නමුත් ඊට නිසි පිළිතුරක් නොලැබුණු පසු බිමක එහි අවසාන උත්සාහය ලෙස 2019 අප්‍රේල් 10 වන දා ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයේ ද මැදිහත් වීමෙන් ඒකාබද්ධ ඉල්ලීමක් සිදු කිරීමෙන් පසු ඊට දින දෙකකට පසු සහරාන් ගේ අන්තවාදී මත පළ කළ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට facebook ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබුණු බවයි සාක්ෂිකරු පැවසුවේ.