පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම් රහසිගතව ජංගම දුරකතනයකින් රූගත කළ මවුලවිවරයෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා. මෙම සිද්ධිය අනාවරණ වී ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ පස්වරුවේ සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.
උන්වහන්සේ කොමිසම හමුවේ පෙනී සිිටියේද මුස්ලිම් සංවිධාන කිහිපයක් ඥානසාර හිමියන්ගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවශ්‍ය බවට කොමිසමට කර තිබූ දැනුම්දීමකට අනුවයි. ඥාණසාර හිමියන් සාක්ෂි ලබාදීම ආරම්භ කර පැය 2 ක පමණ කාලයක් ගත වනවිට කොමිෂන් සභාව තුළ රැදී සිටි මවුලවිවරයෙකුගේ සැකකටයුතු හැසිරීමක් කොමිසමේ පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබුණා. පසුව මෙම මවුලවිවරයා පිටතට ගෙන ප්‍රශ්න කිරීමටයි පොලිස් නිලධාරීන් කටයුතු කරන තිබුණේ. එහිදී අනාවරණ වී ඇත්තේ ඥාණසාර හිමියන්ගේ සාක්ෂි විමසීම මෙම මවුලවිවරයා රහසිගතව සිය ජංගම දුරකතනයෙන් පටිගත කර ඇති බවයි.
කොමිසමට කිසිදු බාහිර පුද්ගලයෙකුට ජංගම දුරකතන රැුගෙන ඇතුළුවීමට අවසර හිමිවන්නේ නැහැ. ඒ අනුව මෙම මවුලවිවරයා සිය නීතිඥවරයාට ජංගම දුරකතනය ලබාදී කොමිසම තුළට ඇතුළුවීමෙන් පසු නීතිඥවරයාගෙන් එම ජංගම දුරකතනය හොර රහසේම ලබාගෙන මෙලෙස පටිගත කර ඇති බවට එහිදී වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.
මෙම මවුලවිවරයා පෙරේදා දිනයේද පාස්කු කොමිසමට පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. පටිගත කිරීම සිදුකළ මෙම මවුලවිවරයා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙක්. මෙම සිද්ධිය වාර්තාවීමෙන් පසු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප්‍රසාදය පළ කර තිබෙනවා. එමෙන්ම පටිගත කළ මවුලවිවරයාගෙන් හා නීතිඥවරයෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසටයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා, පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර ඇත්තේ.