රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි කෝමා තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ, හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.

විෂ ශරීරගතවීමක් හේතුවෙන් ඇලෙක්සි නාවල්නි මෙලෙස රෝහල්ගත කෙරුණා. විපක්ෂ නායකවරයා ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වි සිටින බවත්, ඔහුගේ දිවි බේරා ගැනීම සඳහා මහත් ප‍්‍රයත්නයක් දරමින් සිටින බවත් ඔහුගේ වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

රුසියාවේ ටොම්ස්්ක් නගරයේ සිට මොස්කව් නුවර බලා ගුවන් යානයකින් එමින් සිටියදී විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මෙලෙස හදිසියේ රෝගාතුර වුණා.  

ඒ හේතුවෙන් ඔහු ගමන් කළ ගුවන් යානය ඔම්ස්ක් ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බෑමටයි ගුවන් නියමුවන් පියවර ගත්තේ.

ඇලෙක්සි නවාල්නි ගත් පානයකට වස මිශ‍්‍ර කර ඇති බවට මේ වනවිට සැක පළ කෙරෙනවා.

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි පුටින් විරෝධියෙකු ලෙසයි ජාත්‍යන්තරය තුළ ප‍්‍රකටව සිටින්නේ. එසේම රුසියාව තුළ සිදුකෙරෙන ආණ්ඩුවිරෝධී මෙහෙයුම් රැසක් මෙහෙයවන්නේ ද ඇලෙක්සි නාවල්නි විසින්.