පළාත් පාලන ආයතන 248 ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ 25 කින් හා ස්වාධීන කණ්ඩායම් 124 කින් නාමයෝජනා පත්‍ර 1578 ක් දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් මැතිවරණ ‍ලේකම් කාර්යාලවලදී ඊයේ (21) භාරදෙනු ලැබිය. දිස්ත්‍රික්ක 25 ක් සඳහා භාරදුන් මෙම නාමයෝජනා පත්‍ර 1578 න් නාමයෝජනා 27 ක් ප්‍රතික්ෂේප වී තිබේ. මේ අතරින් පක්ෂ 10 ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇති අතර ස්වාධීන කණ්ඩායම් 8 ක නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විය.
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මව්බිම ජනතා පක්ෂය, ජනසෙත පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය යන පක්ෂවල නාමයෝජනා පත්‍ර මෙලෙස ප්‍රතික්ෂේප විය.
සභික ධුර 8356 වෙනුවෙන් ලබාදුන් නාමයෝජනා පත්‍රවල සිටින අපේක්ෂකයන් සඳහා වූ මැතිවරණය පෙබරවාරි මස 10 වනදා පැවැත්වීමට නියමිතය.
ඉකුත් 18 දා ආරම්භ වූ නාමයෝජනා භාරගැනීමේ කාලසීමාව ඊයේ (21) දහවල් 12 න් අවසන් විය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා පක්ෂ 17 ක්, ස්වාධීන කණ්ඩායම් 13 නාමයෝජනා 76 ක් භාරදුන් අතර ඉන් 3 ක් ප්‍රතික්ෂේප විය. කොළඹ මහ නගර සභාවට ජාතික ජනතා පක්ෂයෙන්ද, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට එක්සත් සමාජවාදී පක්ෂයෙන්ද, කැස්බෑව නගර සභාවට ස්වාධීන කණ්ඩායමකින්ද ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් පක්ෂ 13 ක් හා ස්වාධීන කණ්ඩායම් 12 ක් ලබාදුන් නාමයෝජනා 81 න් කටුනායක සීදුව නගර සභාවට ජනසෙත පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විය.
කළුතර නාමයෝජනා පත්‍ර 72 ක් ඉදිරිපත් වූ අතර මහනුවර පක්ෂ 14 ක් හා ස්වාධීන කණ්ඩායම් 11 ක් නාමයෝජනා 111 ක් ලබාදී ඇත. එම දිස්ත්‍රික්ක දෙකෙහිම එක් නාමයෝජනා පත්‍රයක් හෝ ප්‍රතික්ෂේප වී නැත. මාත‍ලේ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ නාමයෝජනා 60 ම පිළිගෙන ඇති අතර නුවරඑළියට පක්ෂ 8 ක් හා ස්වාධීන කණ්ඩායම් 6 ක් ඉදිරිපත් කළ නාමයෝජනා 69 ක් භාරදී ඇත. ඉන් නුවරඑළිය ප්‍රාදේශීය සභාවට ලංකා සමසමාජ පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයට පක්ෂ 7 කින් හා ස්වාධීන කණ්ඩායම් 9 කින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 85 න් එක්සත් ජනතා නිදහස් පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ. මාතරට පක්ෂ 7 ක් හා ස්වාධීන කණ්ඩායම් 3 ක් භාරදුන් නාමයෝජනා පත්‍ර 63 න් මව්බිම ජනතා පක්ෂය දික්වැල්ල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය හා වැලිගම ප්‍රාදේශීය සභාවට මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.
හම්බන්තොට දිස්ත්‍රික්කයට පක්ෂ 6 ක් හා ස්වාධීන කණ්ඩායම් 6 ක් ඉදිරිපත් කළ නාමයෝජනා 42 ම පිළිගෙන ඇත. යාපනය දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 125 න් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ යාපනය උතුර සභාවට, වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවට, වලිකාමම් නැගෙනහිර, ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 4 ක් හා ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය. මඩකලපුව දිස්ත්‍රික්කයට පක්ෂ 12 ක් හා ස්වාධීන කණ්ඩායම් 17 ක් ලබාදුන් නාමයෝජනා පත්‍ර 81 න් මුස්ලිම් කොංග්‍රසය හා ජාතික ජනතා පක්ෂය ලබාදුන් නාමයෝජනා පත්‍ර 2 ප්‍රතික්ෂේප වී තිබේ. අම්පාර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ නාමයෝජනා පත්‍ර 62 න් ස්වාධීන කණ්ඩායම් 2 ක් කල්මුණේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර 2ක් ප්‍රතික්ෂේප විය. ත්‍රිකුණාමලයට ඉදිරිපත්වූ නාමයෝජනා 66ම පිළිගෙන තිබේ. කුරුණැගල දිස්ත්‍රික්කයම නාමයෝජනා 111ක් ඉදිරිපත් වූ අතර ‍පොල්ගහවෙල ප්‍රා.සභාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය, මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය, රිදීගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ පත්‍රය, ප්‍රතික්ෂේප වී ඇත. එමෙන්ම මහව ප්‍රාදේශීය සභාවට යහපාලන සඳහා වූ ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයන් ස්වාධීන කණ්ඩායමක් ‍පොල්පිතිගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප විය.
පුත්තලම දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ නාමයෝජනා 63කි.නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප විය. අනුරාධපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා 97ක් ලැබුණ අතර තිරප්පනේ ප්‍රාදේශීය සභාවට ශ්‍රීලංකා ‍පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ. ‍පොළොන්නරුව නාමයෝජනා 19ක් හා බදුල්ලට පක්ෂ 6කින් හා ස්වාධීන කණ්්ඩායම් 6කින් ඉදිරිපත්වූ නාමයෝජනා පත්‍ර 40ම පිළිගෙන ඇත. මොනරාගල දිස්ත්‍රික්කයට නාමයෝජනා 29ක් ලැබි ඇති අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණ බුත්තල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත.
රත්නපුරයට ඉදිරිපත්වූ නාමයෝජනා 29 පිළිගෙන තිබේ. වව්නියාව දිස්ත්‍රික්කය ඉදිරිපත් කළ 45න් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ එක් නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වී ඇත. මුලතිව් දිස්ත්‍රික්කයට ඉදිරිපත්වූ නාමයෝජනා 36න් අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය තුහුක්කායි ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ 20ක නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප විය. කිලිනොච්චි දිස්ත්‍රික්කයට නාමයෝජනා 26ක් ඉදිරිපත්වූ අතර ඉන් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප විය.