පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ඔහු මේ පිළිබඳව සඳහන් කරනු ලැබුයේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.

05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ළමා ප‍්‍රඥප්තියේ සඳහන් කාර්යයන් සහ වගකීම් ඉටුකිරීමට රජයක් ලෙස බැදී සිටිනවා සේම රටේ දරු පරපුර වෙනුවෙන් සියලූ යුතුකම් ඉටුකිරීමට තමා වගකීමෙන් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ,දරුවන් සුරකිමු, ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හදුනාගෙන අපයෝජනය හා අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්ත ව කි‍්‍රයාවට නංවා ඇත. මේ යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, මනෝ උපදේශන සහ නීති උපදේශන ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් වෙනුවෙන් වැඩසටහන් කි‍්‍රයාත්මකය.