ඇති වී තිබෙන ව්‍යසන අවස්ථාවේදී දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන්නැයි මහා සංඝරත්නය ඇතුළු මහජනතාව සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් මෙම ඉල්ලීම කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුලාල් බණ්ඩාරිගොඩ ඉකුත්දා ආරම්භ කළ සත්‍යග‍්‍රහය ද පාදක කරගනිමින්.

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ප‍්‍රමුඛතාව ලබා දෙන්නැයි ඉල්ලා සිටිමින් සහ රජයේ සහන වැඩපිළිවෙල ප‍්‍රශ්න කරමින් බන්දුලාල් බණ්ඩාරිගොඩ මන්ත‍්‍රීවරයා මෙම සත්‍යග‍්‍රහය ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ ව්‍යසන අවස්ථාවකදී පවා ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීම කණගාටුදායක බවයි.

රජයේ සහන වැඩපිළිවෙල මේ වනවිට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව ද පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් මෙහිදී කියා සිටියා.

ඇඳිරි නීතිය ඉවත් කර ජන ජීවිතය පහසු කරන ලෙස ද ඇතැම් දේශපාලඥයින් ඉකුත් දිනවල ඉල්ලා සිටියා. එවැනි ඉල්ලීම් ද කණගාටුදායක බවයි මහා සංඝරත්නය ඇතුළු මහජනතාව පැවසුවේ.
 

මේ අතර ඇදිරිනීතිය පනවනු ලැබ තිබියදීත් ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා තවදුරටත් ඉතා ඕනෑකමින් කටයුතු කරමින් සිටින බව රජය පවසනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක් වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල ද පැය 24 පුරා විවෘත කර ඇත්තේ ජනතාවගේ පහසුව සඳහා බවයි.