සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර තිබේ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ(02) රාත්‍රීයේ නිකුත් කර තිබුණි.

ආරක්ෂක ලේකම්වරයාට අමතරව ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික බුද්ධි ප්‍රධානීවරයා, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ අධ්‍යක්ෂවරයා, යුධ, ගුවන්, නාවික හමුදා බුද්ධි අංශයන්හි අධ්‍යක්ෂවරුන්, පොලිස් විශේෂ කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු 13 දෙනෙකුගෙන් එම කාර්ය සාධක බලකාය සමන්විතයි.

වර්තමානයේ රටේ ඇතැම් ස්ථානවල නීතිවිරෝධි ලෙස හැසිරෙන සමාජ කණ්ඩායම්වල එම ක්‍රියාවන් මැඩපැවැත්වීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම, මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වන්නන් ඉන් වැළැක්වීම, වරාය හා ගුවන් තොටුපල ආදී ස්ථානවලින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් පූර්ණ වශයෙන් මර්දනය කිරීම හා ඒ හේතුවෙන් සිදුවන සමාජ ව්‍යසනයන් වැළැක්වීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබේ.

 එමෙන්ම වෙනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව සිදුකරන නීති විරෝධි හා සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් සොයාබලා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ බන්ධනාගාර ආශ්‍රිතව සිදුකරන නීති විරෝධි හා සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීමට කටයුතු කිරීම ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී තිබේ.

එමෙන්ම අදාල කටයුතු පිළිබඳ ජනාධිපතිවරයා වෙත වාර්තා ඉදිරිපත් කිරීමට ද පියවර ගත යුතු බව අදාල ගැසට් නිවේදනයේ සදහන්ය.

මේ අතර නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර තිබේ.

පුරාවිද්‍ය චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමි ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බලකාය විසින් නැගෙනහිර පළාත තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන හදුනාගැනීම, සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම, පුරාවිද්‍යාත්මක භූමි සදහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණ හදුනාගැනීම ආදී කාර්යයන් පැවරී තිබේ.