වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති රාජයා අද අලුයම මියගොස් තිබෙනවා.

අවුරුදු පහක් තරම් වූ කුඩා වයසේදී ශ්‍රී ලංකාවට රැගෙන ආ  “නැදුන්ගමුවේ රාජා” 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවන්නේ ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙසින් තම නමට ලියවුණු ගෞරවය ද පෙරදැරිවය.

ඉන්දියාවේ සිට මෙරටට ගොඩබට දිනයේ සිට මේ වන තෙක්ම වාහනයක ගමන් ගෙන නැති රාජා දිවයිනේ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වීමට ගෙවා ගොස් ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර දහස් ගණනකි.

ගම්පහ වැලිවේරිය නැදුන්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගිවී යන්නට එන්නට පමණක් එක වර්ෂයකදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද යයි. උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කරන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගලයි.