තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවුසවේ ඒ හේතුවෙන් සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත් කාර්යයාල දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක් සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය 04 ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ද දුම්රිය පාලක මැදිරිය පැවසුවා. කැළණිවැලි මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ ද දුම්රිය 02 බැගින් ධාවනය කෙරෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් ඊයේ හදිසි වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළේ අසාධාරණ විනය ක්‍රියාමාර්ගයකට විරෝධය දක්වමින්. කෙසේ වෙතත්, ගැටළුව විසඳන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දුවකට අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12 දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබුණා. කෙසේ වෙතත්, ගැටළුවට විසඳුම් නොලැබීම හේතුවෙන් මධ්‍යම රාත්‍රියේ සිට යළි එම වර්ජනය ක්‍රියාත්මක වී තිබෙනවා.