ඉදිරි දින කිහිපයේ පෞද්ගලික බස් රථ සියයට 15 කට අඩු ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ ලංගම ඩිපෝවලින් පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් එලෙස බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට හැකි බවයි.

අද දිනයේ ද සාමාන්‍ය කාලසටහන යටතේ දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ මගීන් වැඩි වශයෙන් දුම්රියෙන් ගමන් කිරීම සැලකිල්ලට ගනිමින් අතිරේක දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කර ඇති බවයි.

ඉන්ධන මිල ඉහල යාම හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුවන අලාභය රුපියල් මිලියන 30ක්. එම අලාභය අවම කර ගැනීම සදහා දුම්රිය ගාස්තු ඉහළ දැමීමට අවසර හිමිවනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසු අතර දුම්රිය ගාස්තු ඉහළ දැමීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා.

මේ අතර ලබන පළමු වනදා සිට සියයට 30 කින් බස් ගාස්තු ඉහළ දැමීමට ප්‍රවාහන බලධාරීන් අවසර ලබාදුන් බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළා. එහි  ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවේ ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ යන බවයි.