දක්ෂිණ අධිවේගී මාර්ගයේ හිමදූව – පින්නදුව අතර ප්‍රදේශයේදී රථ වාහන 3ක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. 

පොලීසිය පැවසුවේ මාතර සිට කොළඹ දෙසට ධාවනය වූ මොටර් රථ දෙකක් සහ කැබ් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවයි. 

මාතර සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඉදිරියෙන් ගමන් කළ මෝටර් රථයක පිටුපස ගැටී එම මෝටර් රථය ඉදිරියෙන් ගමන් කළ තවත් කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියෙන් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට ද හානි සිදුවී ඇති අතර අක්මීමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.