එළඹෙන මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 800 ත් 900 ත් අතර මුදලක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අගෝස්තු මස 05 වැනිදා පැවැත්වෙන බව එම කොමිසම ඊයේ (10) ප‍්‍රකාශයට පත් කළේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්.

ඒ අනුව මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුවේ ආසන 225 ක් වෙනුවෙන් අපේක්ෂකයින් 7,452 දෙදෙනෙකු තරග වදිනවා. ඉන් අපේක්ෂකයින් 3,652 දෙදෙනෙකු තරග වදින්නේ දේශපාලන පක්ෂ 25 කින්. ස්වාධීන කණ්ඩායම් 313 කින් අපේක්ෂකයින් 3,800 දෙනෙකු එළඹෙන මහ මැතිවරණය සඳහා තරග වැදීමට නියමිතව තිබෙනවා. 

මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය භාවිත කිරීම සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛණයට අනුව සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැට දෙලක්ෂ 63,885 ක්. අගෝස්තු 05 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 0දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනවා. 

මේ වනවිට මහ මැතිවරණයට අදාළ දිස්ති‍්‍රක්ක 07 ක නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කර අවසන් බවයි වාර්තා වන්නේ. ඉදිරි සතිය තුල සෙසු දිස්ති‍්‍රක්කවල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මෙවර මහ මැතිවරණයට තරග වදින්නේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේයි. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය මෙවර මහ මැතිවරණයට තරග කරනවා. 

සමගි ජනබලවේගය, හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා යටතේත්, ජාතික ජනබලවේගය හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේත් මහ මැතිවරණය සඳහා තරග වැදීමට නියමිතයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙවර මහ මැතිවරණයේදී දිස්ති‍්‍රක්ක කිහිපයක් සඳහා තනිව තරග කිරීම විශේෂත්වයක්. 

මේ අතර ඉදිරි මහ මැතිවරණයට පෙර, පෙරහුරු ඡන්ද විමසීම් 16 ක් පැවැත්වීම කෙරෙහි ද මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා. 

ඒ, ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වායි. මෙවැනි පෙරහුරු ඡන්ද විමසීමක් පැවැත්වීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවූයේ කොරෝනා වසංගතයත් සමග මතුවූ සෞඛ්‍ය අවධානම සැලකිල්ලට ගනිමින්. මෙවැනි පෙරහුරු ඡන්ද විමසීමක්, ඡන්ද දායකයින් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 07 වැනිදා, අම්බලන්ගොඩ ප‍්‍රදේශයේදී ද පැවැත්වුණා.

ඉදිරියේදී පැවැත්වෙන පෙරහුරු ඡන්ද විමසීම් කිහිපයක් කොළඹ නගරයේ මහල් නිවාස සහ වතු නිවාස ආශි‍්‍රතව පැවැත්වීමට ද මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.