අභියාචනාධිකරණ විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන් 2008 සහ 2009 වසරවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා සාමාජිකයින් 14 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 24 වන දා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

එම නඩුව අද (26) චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ 14 වන විත්තිකරු ලෙස නම් කර සිටින වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නඩුවේ විභාගය අත්හිටුවන තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවය.

එම තහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් වූ නඩු විභාගය පමණක් ද? යන්න මෙතෙක් පැහැදිලි නොමැති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගන්නා තුරු නඩු විභාගය කෙටි දිනයකට කල් තබන ලෙස ඉල්ලා සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටී අනිල් සිල්වා සහ අනුජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරුන් ද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ එක් විත්තිකරුවකු සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණද මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවය.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අනුව මෙම නඩුවේ විභාගය සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේද? එසේත් නැත්නම් විත්තිකාර වසන්ත කරන්නාගොඩ සම්බන්දයෙන් වූ නඩුව පමණක් අත්හිටුවා තිබෙනවා ද? යන්න පැහැදිලි කර ගැනීම උචිත බව සඳහන් කළේය.

එතෙක් නඩුව ලබන 24 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක ඇතුළු නාවික හමුදා සාමාජිකයින් දහතුන් දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.